Monday, May 8, 2017

දේශානුරාගී රාජ්‍ය සේවකයෝ හා තීරණ නොගෙන සිටීමේ නිදහස!


අපේ රටේ සිටින බහුතරයක් රාජ්‍ය වෘත්තිකයෝ සිටින්නේ අපට සේවය කිරීමටය (වරහන් ඇතුලේ  පොතේ හැටියට සහ කන්තෝරුවල වටේ පිටේ එල්ලා ඇති බෝඩ් වල කියන හැටියට). පොලිසියේ OIC ගේ සිට ග්‍රාමසේවක, කච්චේරියේ ලිපිකරුවා ආදී මෙකි එකී නොකී බහුතරය මෙකී කුලකයට අයත් වේ ! ඔවුන්ගෙන් බහුතරයක් කියන්නේද එසේය.






දේශානුරාගයෙන් ඔද වැඩී ඇති, විදේශ රටක සේවයට නොයන, ජනතාවට සේවය කිරීමට සැදී පැහැදී ඇති ඔවුන්ගෙන් සේවයක් ලබාගැනීමට අප ඔවුන්ගෙන් පුද්ගලික උදව්වක් ලබගන්නාක් මෙන් බැගෑපත් විය යුතුය. අසරණ මිනිසුන් හතරට පහට නැවී සිටිනා හැටි ඕනෑම කන්තෝරුවක දැකිය හැක. කර ගත යුතු වැඩේ විනාඩි 5 ක වැඩක් වුවද ඔවුන් සති 5 ඉල්ලුවද කට වහන් සිටිය යුතුය. නැතිනම් අවුරුදු 5කට කල් දැමීමේ අවදානම දරාගෙන ඔවුන්ට කොකු දැමිය යුතුය. බුලත් හුරුල්ලක් නොදුන්නද කර ගත යුත්ත පවසා ඔවුන් ස්වේච්ඡාවෙන් කරන මහා පුණ්‍ය කර්මයක් කරන මෙන් ඉතා උද්දාමයෙන් එය නිවී සැනසිල්ලේ කරදෙන තෙක් ඉවසා සිටිය යුතුය. ඔවුන් සිතනුයේ ඔවුන්ගේ මෙම සේවාව ලබාගැනීමට අප පින් කර ඇති බවය. එබැවින් පින් මද පාරිභෝගිකයා ඉතා ඉවසිල්ලෙන් ගෞරවයෙන් සිටිය යුතුය. 

විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු ගතවූ කාලයෙන් වැඩි කාලයක් (80% කට වැඩියෙන්) මා ලංකාවේ පළාත් 3 ක පිහිටි පෞද්ගලික ආයතනවල  සේවය කල බැවින් විටින් විට රාජකාරි මෙන්ම පෞද්ගලික අවශ්‍යතා සඳහා  මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ලිපිකරුවාගේ සිට අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජෙනරාල් දක්වා මෙම හැසිරීම සහ ආකල්ප විඳ ඇත්තෙමි. ඔවුන්ගේ එක් එක් ක්‍රියාකලාපයන් නිසා පරක්කු වූ වැඩ හා ව්‍යාපෘති ගැන කියන්නට ගියහොත් මෙම ලිපිය ඉවර වන්නේ නැති බැවින් ඒවා වෙනත් දවසක කියන්නට බලාපොරොත්තු වෙමි. ඔවුන් සමග හිතවත් වී අල්ලාප සල්ලාපයකට සෙට් වූ විට ඔවුන් පවසන්නේ ඔවුන්ට විදේශවල පෞද්ගලික ආයතනවල ඇති තරම් අවස්ථා ඇති නමුත් ලංකාවට ඇති ආදරය නිසා මෙම රැකියාව කරමින් රජයේ සේවය කරන බවය. නමුත් ඔවුන් කරගන්නේ තම පෞද්ගලික සුඛ විහරණයට කාරණා මිසක් රටට ජාතියට ලෝකයට වැඩදායි  කර්තව්‍යයක් නොවන බවක් තේරුම් ගැනීමට නොහැකි ලෙස මනෝ භාවයක සිරවී ඇති බවක් දුටුවෙමි. ඇතැම් විට ඔවුන් මුලදී එවැනි යහපත් ආකල්පයක සිටින්නට ඇත (මා හොඳින් දන්නා සමහරු රාජ්‍ය සේවයට ගියේ එය වෙනස් කිරීමටය. නමුත් සිදුවී ඇත්තේ එම රාජ්‍ය සංස්ථාව මගින් කාලයක් ගතවන විට එම පුද්ගලයා වෙනස් කිරීමය). නමුත් කල් යද්දී අර නස්රුදීන්ගේ කතාවේ මෙන් ඔවුන් විසින් මවාගත් බොරුව ඔවුන්ටම සත්‍යයක් වී ඇති සැටියකි. 

ඉතා හිතවත් අයෙකුගෙන් ඇසු විට "ඇයි මචං ඔය රස්සාවේ පඩි මදි නම් growth එකක් නැත්තන් වෙන රස්සාවකට යන්නේ නැත්තේ" ඔවුන්ගේ පිළිතුර වන්නේ "මචං මේකේ වගේ නිදහසක් නැහැ නේ"

මුලදී මට මොවුන්ගේ නිදහස කුමක්ද යැයි හරි හැටි නොතේරිණි. මා මුලින්ම සිතුවේ මොවුන් අදහස් කරන්නේ තීරණ ගැනීමේ නිදහස සහ පෞද්ගලික නිදහස කියාය. නමුත් කල් යන විට මා තේරුම් ගත් දෙය වන්නේ මොවුන්ගේ නිදහස වන්නේ තීරණ නොගෙන සිටීමේ නිදහස (වැඩ නොකර සිටීමේ නිදහස) බවය. මොවුන් බහුතරයක් අවදානමක් නොගෙන සිටින්නේ තමාගේ රස්සාවේ සුරක්ෂිතභාවය රැක ගැනීමටය. නමුත් ඇහුවොත් කියන්නේ මේ රස්සාව පලක් නැති බවය ඒ ගැන වැඩිය නොතකන බවය. දේශපාලකයන් ඔවුන්ට රිසි සේ රටට සේවය කිරීමට නොදෙන බවය (කන්තෝරුවේ ඇති පෝරමය පුරවා දුන් පසු මිනිත්තු 5 කින් කල හැකි තමා අතේ පාලනය ඇති දේ සති ගණනකින් පරක්කු කිරීමට එම කන්තෝරු වල දේශපාලකයෙක් නම් නොදුටිමි). 




ඉදින් පලක් නොමැති රස්සාවෙන් ඔවුන් රටට පලක් කරන්නේද නැත! අප ඔවුන්ටද  පලක් නොමැති රස්සාවෙන් ලබාදෙන සේවයෙන් තෘප්තිමත් විය යුත්තෝ වෙමු. 



ඉතින් ඔවුන් මෙසේ අසන්නේ නැත!




නමුත් ඔවුන් වැඩ වර්ජනය කරන්නේ සියලු වෘත්තීය ක්‍රියා මාර්ග ගනුයේ රට ජාතිය අනාගත පරම්පරාව බේරා ගැනීමේ සටන් පාඨය සහිතවය. ප්‍රවෘත්ති සාකච්ඡා දුටු විට ඔවුන්ගේ දේශප්‍රේමී කථා අසා අපේද ඇඟේ මයිල් කෙලින් වේ. නමුත් සෑම ක්ෂේත්‍රයක්ම වල පල්ලට ඇද දමන්නේ මොවුන්ගේ ක්‍රියා කලාපයයි. නමුත් ඔවුන්ගේද බැනීම කෙලවර වන්නේ දේශපාලකයන්ගෙනි. 

තම අභිවෘධිය සඳහා (ආත්මාර්ථකාමී හැඟීමකින් හෝ) වැඩ කිරීමේ වැරද්දක් මා දකින්නේ නැත. නමුත් තම ආත්මාර්ථය ඉටු කරගනු වස් දේශානුරාගය ජාත්‍යාලය වැනි සංකල්ප සියල්ල යොදාගෙන විකෘති සංකල්පයක් සාදා මොවුන් තීරණ නොගෙන සිටීමේ (වැඩ නොකිරීමේ) නිදහස තම පරම අයිතියක් කරගෙන සිටිති. එම නිදහසට අත තැබීමට යන සියල්ලෝ ඔවුන්ගේ සතුරෝය.


ප. ලි - මා මේ පවසන දෙය එක් වෘත්තිකයෙකුට හෝ වෘත්තීයකට සීමා කොට සිතීමෙන් වලකින්න. මෙම ඉහත කුලකයට නොවැටෙන කැපවීමෙන් තම රාජකාරිය ඉටු කරන සුළු පිරිසක් රාජ්‍ය සේවකයන්  මෙයින් හිත නොරිදවා ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි. 


සියලු ප්‍රශ්න වලට උදේ හවස දේශපාලකයන්ට බැන වදින මොවුන් පිළබඳව සිංහල බ්ලොග් අවකාශයේ කිහිප විටක්ම ලියා ඇති බැවින් ඒවා කිහිපයක් පහත උපුටා දක්වන්නෙමි.

 මේ ගැන මා මිතුරු කලණසිරි ඔහුගේ කලාහිත බ්ලොග් අඩවියේ ලිපියක් ලියා තිබුණි - ලංකාවේ නරකම නිලධාරින්ය... Politicians are little better . ඔහු පවසන දෙයට මට 100% එකඟ විය හැකිය.

මේ කාරණයටම අදාලව අරුණි ශපිරෝ ගේ බ්ලොග් අඩවියේ තවත් ලිපියක් තිබිණි -  "තමන් වෙනුවෙන් තීරණ ගන්නට නොදන්නා සමස්ත පොදු ජනතාවගේ යහපත උදෙසා, ආණ්ඩුව මාර්ගයෙන් ඒ පොදු ජනතාවගෙන්ම බලහත්කාරයෙන් උදුරා ගන්නා බදු මුදලින්, මේ එලීටිස්ට්ලාට තනතුරු හා ප්‍රතිලාභ සැපයීමට අවශ්‍ය බව ඔවුන් තරයේ විශ්වාස කරති."
"ඉතින් එලීටිස්ට්ලා තාප්ප ඉදිකරන්න කියති. තාප්ප කඩන්න කියති. නැවත ඉදිකරන්න යැයි කියති. මිනිසුන් දහදිය වගුරවමින් කය වෙහෙසන හැටි බලමින්, ඉහළට යන තාප්ප පෙන්වමින්, කඩා දමන තාප්ප පෙන්වමින්, ඔවුන් වෙහෙසනවා බලන්න ඔවුන්ට රැකියා ඇති හැටි බලන්න යැයි උදම් අනිති."

මහාචාර්ය චන්දිම ගෝමස් ද මීට අදාලව තවත් dimension එකකින් කතාවක් ලියා තිබුණි - ගුණරත්නලාගේ ලෝකය




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...