Wednesday, March 15, 2017

අපේ පරිසරවේදීන්, ජාතික ප්‍රතිපත්ති හා ජාතික ආර්ථිකය

ඇතිවියහැකි පාරිසරික ප්‍රශ්න හේතුවෙන් යෝජිත මෙගාවොට් 500 සාම්පුර් ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය නතරකොට දැනට මාස හයකට ආසන්න  කාලයක් ගතවී ඇත.


සාම්පුර් නතර කිරීමේ පසුබිම

යෝජිත සාම්පුර් ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරියෙන් අවශ්‍ය පාරිසරික අනුමැතිය ලබාගෙන තිබියදී රජය විසින් කුමන පදනමක් යටතේ එම ව්‍යාපෘතිය පාරිසරික පදනම යටතේ අවලංගු කරේද යන්න බලවත් ප්‍රශ්නයකි.
අංක 47 දරන 1980 ජාතික පරිසර පනත මගින් ශ්‍රී ලංකාවේ පාරසරික කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලාත්මක කොට ඇති මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලංකාවේ පවතින නීති රීති වලට අනුව අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති ව්‍යාපෘතියක් පවතින රජය මගින්ම පාරිසරික සාධක මත පදනම්ව අවසන් මොහොතේ අවලංගු කිරීම අප රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති අකාර්යක්ෂමතවත් ජාතික ප්‍රතිපත්ති වල ඇති කාලීන බවත් නැවතත් විමසුමට ලක් කල යුතු බව අපට පසක් කරවයි.


ජාතික ප්‍රතිපත්තියකින් තොරව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම

බලශක්තිය සඳහා ඇති ජාතික ප්‍රතිපත්තිය කල් ඉකුත්වී අවුරුදු 7 ගතවී ඇති අතර අලුතෙන් රටට ගැලපෙන ප්‍රතිපත්තියක් සෑදීමෙන් තොරව රටේ දේශපාලන නායකත්වය රටේ ඇති එක් එක් බලශක්ති ව්‍යාපෘති සඳහා “ප්‍රතිපත්තිමය තීරණ” ගණු ලබන බව විෂය භාර ඇමතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශවලින් පෙනී යයි. රටක බලශක්තිය සහ පරිසරය පිලිබඳ තීරණ ගත යුත්තේ සහ ප්‍රතිපත්ති සකස් කල යුත්තේ දශක කිහිපයක් ඉදිරියට හිතාය.


අවුරුදු 5 පමණ කාලයක් සැලසුම් කල යුතු සංකීර්ණ සාම්පුර් වැනි ව්‍යාපෘතියක් අවසන් මොහොතේ (මෙහි ඉදිකිරීම් කටයුතු කිරීමට අදාල සමාගම භූමියට පැමිණ සිටි අවස්ථාවේ) අවලංගු කිරීමත් කෙටි කාලීනව බලශක්ති අර්බුදය විසඳා ගැනීමට දැන් ඩීසල් බලාගාර සඳහා අධික පිරිවැයක් දරා යොමු වීමත් අප ජාතියක් ලෙස සැලසුමකින් තොරව තීරණ ගන්නා බවට සාක්ෂි දරයි.

සාම්පුර් නතර කිරීමේ මූලික අරමුණු

සාම්පුර් ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධානයක් වන “සීමාසහිත පාරිසරික පදනම” - EFL විසින් ශ්‍රේෂ්ටාධිකරණයේ පවරන ලද නඩුව මගින් සාම්පුර් ව්‍යාපෘතිය ලබාගෙන ඇති පාරිසරික අනුමැතිය අභියෝගයට ලක් කර එම ව්‍යාපෘතිය අවලංගු කරන මෙන්ද බලශක්ති ප්‍රභවයක් ලෙස ලංකාවේ ගල් අඟුරු භාවිතය නතර කරන මෙන්ද ඉල්ලා තිබිණ. උසාවියේ නඩු තීන්දුව ලබාදීමට ප්‍රථම නීතිපති වරයා විසින් 2016 සැප්තැම්බර් 13 වැනි දින සාම්පුර් ව්‍යාපෘතිය ඉදිරියට නොයන බව උසාවියට දැන්වීමෙන් පසුව නිල වශයෙන් යෝජිත ව්‍යාපෘතිය අවසන් විය.


මෙම ව්‍යාපෘතියට විරුද්ධවූ බහුතරයක් විශේෂයෙන් පරිසරවේදීන් බලාපොරොත්තු වුයේ මෙම මෙගාවොට් 500 ක විදුලි ජනන ධාරිතාව පුනර්ජනනීය බලශක්ති මගින් හා ස්වභාවික වායු මගින් සපුරා ගනු ඇති බවයි.


නමුත් ඇත්තටම සිදුවන්නේ කුමක්ද? අප රටක් ලෙස පරිසරයටත් ආර්ථිකයටත් සාධාරණයක් ඉටු කරමින් පවතින්නේද? මදක් විමසා බලමු!

සාම්පුර් වලින් ඔබ්බට

මෙම ව්‍යාපෘතියට විරුද්ධව හඬ නැගු බොහෝදෙනා බලාපොරොත්තු වූ පරිදි රජය සහ අදාළ බලධාරීන් විදුලි ජනන අඩුව පිරිමසා ගැනීමට පුනර්ජනනීය බලශක්ති (සුලන්, සූර්ය ) හෝ පරිසර දූෂණය අඩු පොසිල ඉන්ධනයක් වන ස්වභාවික වායු වැනි ශක්ති ප්‍රභව සැලකිල්ලට ගත්තේ නැත. ව්‍යාපෘතිය නතර කර දිනට පසුදිනම සැප් 14, 2015 රජය මෙගාවොට් 300ක ස්වභාවික වායු බලාගාරයකට ටෙන්ඩර් කැඳවන ලදී. මෙහි ඇති සිනහසහගත කරුණ වන්නේ මෙම ස්වභාවික වායු බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධනය ලෙස භාවිතා කරනුයේ ඩිසල් සහ දැවී තෙල්ය. මෙසේ ස්වභාවික වායු බලාගාරයක් සාද  ඛනිජ තෙල් මගින් ක්‍රියාත්මක වන පළමු මෙවැනි බලාගාරය මෙය නොවේ. දැනට අවුරුදු 8 පුරාවට ක්‍රියාත්මක වන මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් යුක්ත කෙරවලපිටිය තාප විදුලි බලාගාරය (යුගධනවී බලාගාරය) මෙයට හොඳම උදාහරණයයි.

විදුලි ඒකකයක් සඳහා පිරිවැය
කෙරවලපිටිය බලාගාරය (ඛනිජ තෙල් භාවිතයෙන් ක්‍රියාත්මක වන ස්වභාවික වායු බලාගාරය)
රු . 45.75
නොරොච්චෝලේ බලාගාරය (ගල් අඟුරු)
රු.. 7.63
විදුලි උත්පාදනයට වියදම් වන මුදල - මූලාශ්‍රය මහජන උපයෝගීතා කොමිසම 2015 වාර්තාව (Source - 2015 PUCSL Generation Report)


යෝජිත මෙවැනි ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන බලාගාරයකින් මෙගාවොට් 500 ක ධාරිතාවක් සපුරා ගැනීමට ගල් අඟුරු වලට සාපේක්ෂව වර්ෂයකට  රුපියල්  බිලියන 133 අතිරේක මුදලක් වැය කිරීමට සිදු වේ. කණගාටුවට කරුණ වන්නේ මෙම රුපියල් බිලියන 133 වැය කරනුයේ නව කර්මාන්තශාලා ඉදිකොට නව රැකියා ලබාදීමටවත්, නව විදුලි බලාගාර සදීමටවත් නොව පෞද්ගලික සමාගම් කිහිපයකට ඩිසල් මගින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය උත්පාදනය කිරීමට මුදල් ගෙවීමටය.


සැලසුම් කර තිබු එකම ගල් අඟුරු බලාගාරය අවලංගු කරන විට අපගේ දේශපාලන  නායකයන්  ජනතාව ඉදිරියේ (ජාතික ප්‍රතිපත්තියකින් තොරව ) නොයෙකුත් පුනර්ජනනීය (Renewable ) කතා මවා පැවද සැබෑවටම තිරය පිටුපස සිදුවන්නේ මෙයයි. මෙම අතිරේක රුපියල් බිලියන 133 වාර්ෂික ඩිසල් බලාගාර සඳහා ගෙවීම යනු සැම අවුරුද්දකම හම්බන්තොට ගුවන්තොටුපල වැනි ගුවන්තොටුපළවල් හතරක් සැදීමට ප්‍රමාණවත් මුදලකි.


කිසිදු වෙනත් සැලසුමක් නොමැතිව අවුරුදු ගණනක් තිස්සේ සැලසුම් කල විදුලි බලාගාරය අවලංගු කල රජය මුනිවත රකිමින් සිට, ජනවාරි 20 දින ගරු බලශක්ති හා පුනර්ජනනීය ඇමති -  රන්ජිත් සියඹලාපිටිය මාධ්‍ය සාකච්ඡාවකින් පැවසුවේ ඊළඟ මාස 6 වර්ෂාව අඩු වන විට විදුලිය කැපීම නතර කිරීමට (පෞද්ගලික ඩිසල් බලාගාර වලට මුදල් ගෙවීමට) රුපියල් බිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවය.

ඉතින් මෙවැනි විනාශයක් අප ජාතික ආර්ථිකයට කරමින් පරිසරය සඳහා අප සාධාරණයක් ඉටු කරන්නේද කියා විමසා බලමු.

නිපදවන  තාප ඒකකයක් ( 1 Billion BTU) නිසා
පිට වන පරිසර දූෂණ වායු (රාත්තල් වලින්)
ගල් අඟුරු
ඛනිජ තෙල්
ස්වභාවික වායු
කාබන් ඩයෝක්සිඩ්
208,000
164,000
117,000
කාබන් මොනොක්සිඩ්
208
33
40
නයිට්‍රජන් ඔක්සයිඩ්
457
448
92
සල්ෆර් ඩයෝක්සිඩ්
2591
1122
0.6
දූවිලි අංශු (Particules)
2744
84
7
මුලාශ්‍රය - එක්සත් ජනපද බලශක්ති   EIA)


ඉහත වගුවෙන් පෙනෙන පරිදි අප ජාතික ආර්ථිකයට විශාල හානියක් සිදු කරමින් අප ගල් අඟුරු බලාගාරයක් අවලංගු කොට ඛනිජ තෙල් බලාගාර වලින් විදුලිය නිපදවීමට ඇති විශාල ධනස්කන්දයක් වැය කොට මිරිඟුවක්  පසු පස දුවමින් සිටින බවත් අපට නැවත වතාවක් වැරදී ඇති බවත් තේරුම් ගත යුතුය. (තවත් සිහි තබාගත යුතු කරුණක් වන්නේ ඉහත වගුවේ දැක්වෙන්නේ සාමාන්‍යයෙන් ගල් අඟුරු වලින් පිටවන වායු ප්‍රමාණයන් ය . ඉහල තාක්ෂණයක් භාවිතයෙන් එම විමෝචනය වන වායු පරිසරයට මුදා හැරීම පාලනය කල හැකිය - clean coal technology )


නැවත වතාවක් රටක් ලෙස  වැරදී ඇති බව පැවසුවේ අප අපගේ එකම ගල් අඟුරු බලාගාරය වන  නොරොච්චෝලේ බලාගාර ව්‍යාපෘතිය පමා කිරීම නිසා 2004 - 2014 කාල පරිශ්‍රය තුල අප ආර්ථිකයට සිදු වූ පාඩුව රුපියල් බිලියන 600 ක් වැනි විශාල මුදලකි (මුලාශ්‍රය - ආචාර්ය තිලක් සියඹලාපිටිය ). මෙම අති විශාල මුදල යොදාගෙන පරිසරය සුරැකීමට මෙන්ම අප රටේ දැවෙන ප්‍රශ්න වලට ප්‍රාග්ධන වියදම් ලෙස යොදා ගැනීමට තිබ්බේ නැද්ද යන්න තීරණය කිරීම බුද්ධිමත් පාඨක ඔබට භාර කරමි.

ගල් අඟුරු මගින් විශාල පරිසර දූෂණයක් වන බව සෑම විටම ජන මාධ්‍ය මගින් විවිද විශාරදයන් කරුණු දැක්වුවද එක්  පරිසරවේදියෙක් හෝ දැනට ක්‍රියාත්මක වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අවට වායු දූෂණ වාර්තාවක් (ambient air quality report ) ලබා ගැනීමට හෝ  භූගත ජලය/මුහුදු ජලය සාම්පලයක් විශ්ලේෂණය කිරීමට ප්‍රයත්නයක් නොගැනීම කණගාටුවට කරුණකි. බලාගාරය අවට අඩුම තරමේ පස් සාම්පලයක් රැගෙන විශ්ලේෂණය කල පරිසර වේදියෙකු නොමැත. සියලුම ගල් අඟුරු ව්‍යාපෘති වලට විරුද්ධ වන්නන් කරනුයේ අන්තර්ජාලයෙන් ගල් අඟුරු වලින් සිදුවිය හැකි පරිසර දූෂණයක් හුව දැක්වීමක් මිසක අප රටේ නිසි අධ්‍යයනයක් නොකර සිටීමය.


අප මෙසේ අප ආර්ථිකයට විශාල පාඩුවක් කර ගනිමින් ඩිසල් බලාගාර සමාගම් කිහිපයක් පොහොසත් කරන විට කාර්මික වශයෙන් දියුණු රටක් වන අප බොහෝවිට අප පුනර්ජනනීය බලශක්තිය සඳහා උදාහරණයක් ලෙස යොදා ගන්න ජර්මනිය තවමත් එරටේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 44% නිෂ්පාදනය කරනුයේ ගල් අඟුරු භාවිතයෙනි.


moorburg_02.jpg


ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජර්මනියේ ඇති නවතම මෙගාවොට් 1500 ක (සාම්පුර් යෝජිත බලාගාරය මෙන් තුන්ගුණයක් විශාල) ගල් අඟුරු බලාගාරයකි - මූර්බුග් බලාගාරය . මෙය ඉතා ඈත අතීතයේ ඉදි කල බලාගාරයක් නොවේ. මෙම බලාගාරය විවෘත කරන ලද්දේ 2015 වර්ෂයේදීය. තවත් වැදගත් කරුණ වන්නේ මෙම බලාගාරය පිහිටා ඇත්තේ යුරෝපයේ හරිත අග නගරය ලෙස පිදුම් ලැබූ හැම්බර්ග් නගරයේය! එම බලාගාරය පිහිටා ඇති ප්‍රදේශයේ සශ්‍රිකත්වයත් ජර්මනිය රටක් ලෙස ලබාගෙන ඇති සෞභාග්‍යත්වයත් දෙස බුද්ධිමත් පාඨක ඔබට විස්තර කිරීම අනවශ්‍යයයි සිතමි.


එහෙත් ශ්‍රී ලංකික අපි? සිතීම ඔබට බාරයි!

2 comments:

  1. ගල් අඟුරු බලාගාර ගැන සෙමා එකේ ලොක්කා කියල තිබ්බ දේ දැක්කද?

    ReplyDelete
    Replies
    1. මම ඊයෙම ඒකට පිළිතුරු ලිපියක් ලිව්වා ... තව ටිකක් හදල බ්ලොග් එකේ දානවා ..... ඊට පෙර ඔබේ ප්‍රතිචාර මෙම මෙම ලිපිය සම්බන්ධයෙන් ඇත්නම් ඉතාමත් අගය කරමි.
      https://drive.google.com/file/d/0B2glqwfnmMPja1JNQVdLT2NDM28/view?usp=sharing

      Delete