Sunday, February 26, 2017

මොකටද බොලව් ගල් අඟුරු බලාගාර? දන්නේ නැද්ද සූර්ය, සුලන් බලාගාර ගැන??







හැමෝම දන්නවා ගල් අඟුරු වල තියෙන පාරසරික ප්‍රශ්න ගැන හා එකට තියෙන විරෝධේ ..... ඉතින් අපේ අදාළ බලධාරීන් විශේෂයෙන් මේ ක්ෂේත්‍රය පිලිබඳ දැනුවත් අය මොකෝ මේ ගල් අඟුරු පස්සෙම දුවන්නේ? ඇයි මේ පරිසරවෙදියෝයි මේකට විරුද්ධව කෑ ගහන අය කියන විදියට පුනර්ජනනීය බලශක්තියට යන්නේ නැත්තේ? අද කථා කරන්නේ ඒක ගැන සරලව! උඩ තියෙන බහිරව රූපේ නැත්තම් වාමන රුපෙට මේකට අදාළ වෙන්නේ කොහොමද කියල පසුවට විස්තර කරන්නන්.....


ලංකාවේ දෛනික විදුලි ඉල්ලුම වෙනස් වෙන ආකාරය 




ඉහත ප්‍රස්ථාරෙන් පේනවා ඇති ආකාරයට අසන්න වශයෙන් මෙගාවොට් 1000 ක BASELOAD එකක් එහෙමත් නැත්තම් පාදක ඉල්ලුමක් තියෙනවා ... ඒ ඉල්ලුම උඩට තව දවසේ වෙලාව අනුව විචල්‍ය ඉල්ලුමක් එකතු වෙලා අපේ ජාතික විදුලි ඉල්ලුම (Total Demand ) හැදෙනවා!

මේ baseload එක දවස පුරා ඒකාකාරව ස්ථායීව සැපයිය යුතුයි... නැත්තන් විදුලි පද්ධතිය බිඳ වැටෙනවා.....



උදාහරණයක් අරන් බලමු!


මම මේකට උදාහරණයක් විදියට ගන්නේ මගේ මිත්‍ර චමිල් එදිරිමුණි මුහුණු පොතේ ලියපු කොමෙන්ටුවකින් ගත්ත අදහසක්... මමත් කාලයක් තිස්සේ උදාහරණයක් හිත හිත හිටියත් හරියන එකක් හම්බ වුනේ චමිල් ගෙන්... ඉතින් මේකට වස්තු බීජය දීමේ සම්පූර්ණ ගෞරවය ඔහු සතුයි.

හිතන්න අපිට කොළඹ සිට යාපනය බලා යන්න පුළුවන් ප්‍රවාහන ක්‍රම විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් අඩු මුදලට යන්න අවශ්‍ය නම් අපි යන්න ඕනේ කෝච්චියේ . කෝච්චියේ මේකේ විශාලම දුර ප්‍රමාණය ගිහිල්ලා බැස්සම යාපනය නගරයේ හා ඒ අවට කරක් ගහන්න ඕනේ නම් හොදම දේ තමයි එක්කෝ ත්‍රිවිල් නැත්තම් බයිසිකලේ. ඒ වගේම ඇවිදින්නත් අවශ්‍ය වන වෙලාවල් තියෙනවා. (මෙහිදී බස් උපරිම ප්‍රමාණයට පාරට දමා ඇති බව උපකල්පනය කරන්න.... හරියට අපේ රටේ හදන්ඩ පුළුවන් මහා පරිමාණ ජල විදුලි බලාගාර ඔක්කොම හදල තියෙනවා වගේ)

අපේ විදුලි පද්ධතිය ගත්තොත් මේ කෝච්චියේ යන ගමන හරියට ගල් අඟුරු බලාගරේ වගේ - Baseload එක.... එහෙමත් නැත්තන් අඩු වෑයමක් දාල අඩු පිරිවැයකින් ලොකු දුරක් කරදරයක් නැතුව යන ගමන.....කොළඹ ඉඳන් යාපනේ නගරෙට යන ගමන....

ඊට පස්සේ ඔය වටේ පිටේ ඇවිදින එක කරන්ඩ පුළුවන් - බයිසිකලේ, ත්‍රීරෝද රථය හා ඇවිදීම --- මේවා සමාන කරන්ඩ පුළුවන්  සුලන්, සූර්ය, කුඩා පරිමාණ ජල වගේ විදුලි බලාගාර වලට...

ඉතින් අපේ මේ ගමන යන්ඩ මේ හැම ප්‍රවාහන ක්‍රමයක්ම අවශ්‍යයි. මේ හැම ක්‍රමයේම තියෙන තාක්ෂණිකව ප්‍රබල තැන් වගේම දුර්වල තැන් (අඩු පාඩු) ගැන අවබෝධෙන් අපි ප්‍රවාහන මාධ්‍යය තෝරාගත යුතුයි.




අනික් ක්‍රමේ 

නැත්තන් ඉතින් හිතල බලන්ඩකෝ - මෙන්න මේ වගේ කතන්දරයක්..... අපිට දැන උගත් උපදේශකයෙක් ඇවිත් කියනවා දුම්රියේ යන්ඩ එපා යාපනේ ... පලයල්ලා බයිසිකලයක් පැදගෙන...... බයිසිකලේට මූලික වියදම (ප්‍රාග්ධන වියදම විතරයි) නඩත්තු වියදම ඉතාමත් අඩුයි.... ඉන්ධන වියදමක් ඇත්තෙම නැහැ.....

ඉතින් මෙහෙම බයිසිකලේ පැදගෙන කොළඹ ඉඳන් යාපනේට යමු කියල කියද්දී අපි ඕකට තව වතුර පොහොර දානවා මෙන්න මේ වගේ - 

"බලන්න මිත්‍රවරුනි එහෙම බයිසිකලේ පැදගෙන කොළඹ ඉඳන් යාපනේට යද්දී අපේ ශරීරය හොඳට ව්‍යායාම වෙනවා.... අපේ කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය අඩු වෙනවා.... අනික් එක සහෝදරවරුනි අපිට මේකට කිසිම ඉන්ධන වියදමක් යන්නේ නැහැ ......බලන්ඩ අපි කොච්චර මුදලක් ඉතුරු කරනවද. අනික් එක පිටරටට ඉන්ධන වෙනුවෙන් ඇදිල යන විදේශ විනිමය කොච්චර ඉතුරු වෙනවද?.. අනික් එක පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ... කිසිම විෂ වායුවක් පිට වෙන්නේ නැහැ ...අපිට පුළුවන් ගමන යද්දී වට පිට බලාගෙන සොභා සිරිය විඳගෙන යන්ඩ (නොමිලේම)...... මේ වගේ ලස්සන ප්‍රවාහන ක්‍රමයක් තියෙද්දී ඇයි ඔබලා බස් කොච්චි පස්සේ දුවන්නේ?"

ඉතින් මේ ආකර්ශනීය කතාව අහන (ගල් අඟුරු බලාගාර එපා ---- මෙච්චර ඉර එලිය තියෙද්දී මොකටද ඕවා.... මෙච්චර හුලං .... අනික් එක ඒවා නිකන් නේ... පරිසර දූෂනයකුත් නැහැ ) බහුතරයක් හිතනවා ඇත්ත නේ යකෝ කියලා ?

ඉතින් අපිත් බයිසිකලේ  යාපනේ යමු කියල අපි දුම්රිය මාර්ගේ වහල දාල (විදුලි පද්ධතිය පැත්තෙන් නම් ගල් අඟුරු බලාගරේ ව්‍යාපෘතිය නතර කරලා  දාල).. අපි කියනවා දැන් ඔක්කොම එවුන් යාපනේ යන්ඩ ඕනේ නම් බයිසිකලේ පලයල්ලා කියලා ..... පශ්චාත් භාගේ පට්ට යනකන් කොහොමද කොළඹ ඉඳන් යාපනේට බයිසිකලේ පද්දහම? කොහොමද මේකේ ප්‍රයෝගික බව?

මෙන්න මේ උපදේශේ දෙන උපදේශකයා තමා - පරිසරවේදියා (හැමෝම නෙවෙයි... අන්ධ බාවයෙන් ගල් අඟුරු එපාම කියල කෑ මොර දෙන උප කුලකේ)..... 

ඉතින් මේකට විරුද්ධව හඬ නගන සමහරු කොච්චි පාර වහලා දාල වැඩි ගානට කාර් විකුණන ව්‍යාපාරෙකුත් (ඩීසල් විදුලි බලාගාර) කරනවා වේදිකාව පිටිපස්සේ..... මොකද මේ ගොල්ලෝ දන්නවා ටික දවසක් බයිසිකලේ යාපනේ පැද්දට ඒක ප්‍රයෝගික නැහැ කියල තෙරුනහම අපි කාර් ගන්නවා කියලා .... 

කොච්චි පාරක් හදන්ඩ ගොඩක් කල් යන හින්දත් අපිට යාපනේ යන්ඩ ඕනේ හින්දත් (බයිසිකලේ යාපනේට හැම තිස්සෙම පදින්ඩ බැහැ කියල තේරුම් යද්දී ) අපි අන්තිම මොහොතේ මෙන්න මේ කාර් ගන්නවා....හැබැයි මේ කාර් වැඩේ ඉක්මන් වුනාට  කොච්චි වගේ 6 ගුණයක් වියදම ...... ඒ වුනාට මොනවා කරන්ඩද? කරන්ඩ දෙයක් නැහැ... ණයට සල්ලි අරන් කාර් ගන්නවා යාපනේ නොගිහින් ඉන්නේ නැතුව ඉන්ඩ (විදුලිය කපන්නේ නැතුව ඉන්ඩ ) .... මේ කාර් විකුණන එවුන් (ඩීසල් මාෆියා එකේ ඉන්න එවුන්) කාර් ගෙනල්ල බලාගෙන ඉන්නේ ඒවා මිලදී ගන්ඩ එනකන්.... ඉතින් මේ ගොල්ලෝ මේකේ ඒකාධිකාරයක් (monopoly ) එකක් තියා ගන්නවා.... කියන මිලට කාර් ගන්ඩ වෙනවා අපිට.....

මෙන්න මේ කොච්චි පාරයි කොච්චියයි වගේ තමා ගල් අඟුරු බලාගාර .... අඩු වියදමකින් වැඩි දුරක් පහසුවෙන් යන්ඩ පුළුවන් වුනාට මේවා සැලසුම් කරන්ඩයි හදන්ඩ යි ලොකු කාලයක් වගේම වියදමක් යනවා..... ඉතින් කලින් සැලසුම් කරේ නැත්තන් අපිට අවශ්‍ය වෙලාවට කරගන්ඩ බැහැ ....

හැබැයි මේ කාර් (ඩිසල් විදුලි බලාගාර) නම් අඩු කාලෙකින් ගෙන්න ගන්ඩ  පුළුවන් ..... හැබැයි වියදම වැඩයි (නඩත්තු වියදම වගේම ඉන්ධන වියදම)..... අපිට ටික දවසකින් අමතකයි කොච්චි පාර වැහුවේ බයිසිකලේ යාපනේ යන්ඩ මිසක් කාර් එකේ යාපනේ යන්ඩ නෙවෙයි කියල.....

ඉතින් මේ විදියට දුම්රියේ යන ගමන කාර් එකේ යන්ඩ - එහෙමත් නැත්තන් නොරොච්චෝලේ වගේ ගල් අඟුරු බලගරේක වැඩේ කෙරවලපිටිය වගේ බලාගාර වලින් කරගන්ඩ - මෙගාවොට් 500 හදන්ඩ අවුරුද්දකට අමතරව රුපියල් බිලියන 133 යනවා.... මේක සමානයි අපි හැම අවුරුද්දෙම හම්බන්තොට ගුවන්තොටුපල වගේ ගුවන් තොටුපළවල් හතරක් හදන වියදමට! මේ ගණන් හැදීමට පාදක කර ගත්තේ පහත වගුවේ ගණන් මිනුම්!




මූලාශ්‍රය - 2015 විදුලි ජනන වාර්ථාව  (මහජන උපයෝගිතා කොමිසම) http://www.pucsl.gov.lk



බහිරවයා 

මෙන්න මේ ගල් අඟුරු බලාගරේ වැදගත්කම කියන්ඩ ලස්සන පින්තූරයක් දැම්ම 2014 අපේ ජාතික ශක්ති වාර්තාවේ (energy balance 2014)



මේකේ තියෙන බහිරව රූප නැත්තන් වාමන රූප හරියට ගල් අඟුරු බලගරේ වගේ.... මේ බහිරව රූප නේ ඊට උඩින් තියෙන පාදම උස්සන් ඉන්නේ... අන්න ඒ වගේ අපේ ජාතික විදුලි පද්ධතියේ බර උසුලාගෙන ඉන්නේ ගල් අඟුරු බලාගරෙන් - නොරොච්චෝලේ බලාගරෙන් ....  කුඩා පරිමාණ ඩීසල් බලාගාර ඔක්කොම එකතු කරපුවහම පරිසර දූෂණේ වැඩයි තක්ෂනෙන් ඉහල ගල් අඟුරු බලාගාරයක් එක්ක බලද්දී.....

ගල් අඟුරු බලගරේ කියද්දී අපිට පොඩි බයක් එනවා අන්න අර බහිරව රූප දකිද්දී වගේ ..... නමුත් පුරාණ විශ්වාස වල තිබ්බ වගේ අපිව රැක ගන්නේ මෙන්න මේ බහිරවයා නැත්තන් ගල් අඟුරු බලාගරේ .....


ඉතින් පුනර්ජනනී Vs ගල් අඟුරු කථා ටිකයි මේ කියපු කථාවයි පොඩ්ඩක් හිතල බලන්ඩකෝ ...... මම හිතනවා තේරුම් ගන්ඩ පුළුවන් වෙයි කියල...  ප්‍රශ්න තියෙනවා නම් අහන්ඩ පල්ලෙහා කොමෙන්ටු වල... මම පුළුවන් හැටියට උත්තර දෙන්නන්......


අවසාන වශයෙන් 

එකක් මතක තියාගන්ඩ 
"අපිට ටික දවසකින් අමතකයි කොච්චි පාර වැහුවේ බයිසිකලේ යාපනේ යන්ඩ මිසක් කාර් එකේ යාපනේ යන්ඩ නෙවෙයි කියල....." 

අපි ජාතියක් විදියට මේ ෆැන්ටසි එකට රැවටිච්ච එකට පරම්පරා ගානක් වන්දි ගෙවනවා ......සමාගම් කීපයක් පෝසත් කරලා  ඛනිජ තෙල් වලින් (ඩීසල් ) වලින් විදුලිය හදන්ඩ .... අන්තිමේට පරිසරේට හොඳකුත් නැහැ ආර්ථීකේට  හොඳකුත් නැහැ!

ඇත්ත තිත්තයි අපහසුයි පිළිගන්ඩ  - Inconvenient  Truth!

Thursday, February 23, 2017

ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම

බලශක්තිය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය කල් ඉකුත් ව ඇති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා රටේ බලශක්ති ව්‍යාපෘති සඳහා එක් එක් ව්‍යාපෘති සඳහා "ප්‍රතිපත්තිමය තීරණ" ගනිමින් සිටී.


රටේ නායකයා කල යුත්තේ මේ සඳහා ඇති ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමය. එවිට එම ප්‍රතිපත්තියට අනුකූලව නව ව්‍යාපෘති ඇති කිරීම අදාල අධිකාරී මගින් කරනු ඇත. micro management කරමින් එක් එක් ව්‍යාපෘතිය ගැන තීරණ ගැනීමට සහ තමන්ට හිතෙන ආකාරයේ ව්‍යාපෘති ඇති කිරීමට යාමෙන් සිදුවන දෙයින් වන්දි ගෙවීමට සිදුවන්නේ මුළු මහත් ජාතියටම බව අපට නොතේරෙන අතර එය දේශපාලකයන්ට තේරෙන තුරු බලා සිටිමු.


මධ්‍යම පරිසර අධිකාරියෙන් රටේ පවතින පාරිසරික නීති වලට අනුකුලව අනුමත කරන ලද ව්‍යාපෘතියක් ඇතිවිය හැකි පාරිසරික ප්‍රශ්න හේතුවෙන් අවලංගු කර දැමීමට දේශපාලන නායකත්වය තීරණය කිරීම ප්‍රශ්න කල යුතුය. අප පරිසරවේදීන් එක් එක් ව්‍යාපෘතිය පසු පස හඹා ගොස් එක් එක් ව්‍යාපෘතියට විරෝධතා දක්වනවා ඇරෙන්නට පරිසරය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සහ පරිසරය සම්බන්ධ නීති රීති හා රෙගුලාසි වෙනස් කිරීමට බලපෑම් කරන්නේ නැත. එවැනි ඔලුවට බර කාරණා ගැන කථා නොකර හුදී ජනයාගේ ලේ කුපිත කරවන තේරුම් ගැනීමට ලෙහෙසි විරෝධතා ව්‍යාපාර සහ දැනුවත් කිරීම් කිරීමට අප පරිසරවේදීන් ඉතාමත් දක්ෂය. අපද ඒවාට ඉතා කැමතිය.

මෙවැනි දේවල් පිලිබඳ තිබිය යුත්තේ දිගුකාලීන වැඩ පිළිවෙලකි. රටක බලශක්තිය සහ පරිසරය පිලිබඳ තීරණ ගත යුත්තේ දශක කිහිපයක් ඉදිරයට සිතාය.
ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදුවන බැවින් දේශපාලකයන් මේ පිලිබඳ දැනුමක් ඇති වෘතිකයන්ගේ හඬට ඇහුම්කන් නොදෙති.


අප රටේ කොතරම් ප්‍රශ්න තිබියදීත් බොහෝ මිනිසුන් තම එදිනිදා අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට නොහැකිව සිටිද්දී අප ගෝලීය උණුසුම අඩු කිරීමට යි කියමින් ඉතා මිල අධික තාක්ෂණයක් මිලදී ගනිමින් සිටින්නෙමු.අපට එම තාක්ෂනය අලෙවි කරන රටවල් වුවද එම තාක්ෂනයන් භාවිත කරනුයේ සීමසතිතාවය.එහෙත් අප - ඉවක් බවක් නොමැතිව එම තාක්ෂනයයන් අප රටට ආනයනය කරමින් සිටින්නෙමු. අප ජනයා එම ප්‍රවෘති කියවමින් සතුටු කඳුළු වගුරුවමින් සිටිති!


තවද අප මැද පෙරදිගට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස යවා එම ලැබෙන මුදලින් මැද පෙරදිගින් ඛනිජ තෙල් මිලදීගෙන වැඩි මිලට විදුලිය නිපදවමින් සමාගම් කිහිපයක් පොහොසත් කරමින් සිටින්නෙමු! එසේ කරමින් අප ජාතික අභිමානය ගැන පාරම් බාන්නෙමු!


මේ සියල්ලම සිදුවන අතර එදා වේල tour එකක් දාගෙන අප පරිසරවෙදීන්ද  අදාල බලධාරීන්ද දේශපාලකයන්ද ජීවත් වෙති! එම පිරිස ඉවක් බවක් නැතුව තීරණ ගන්නා විට උද්ඝෝෂණය කරන විට එයට ප්‍රීති ඝෝෂා දැමීමට ජනමාධ්‍යද පොදු ජනයාද අඩුවක් නැතුව ඇත.

සිංහලෙන් Sustainability - පළමු කොටස


මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙය ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය පහත දිගුවෙන් පිවිසි ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.


සිංහලෙන් Sustainability – පළමු කොටස















Thursday, February 2, 2017

පෙනෙන පාඩු සහ නොපෙනෙන පාඩු



මහබන්දුම්කර (වංචාවේ) සිද්ධියේ හරි පාඩුව රුපියල් බිලියන 0.9 ලු 



ඒ වුනාට සන්තෝස වෙන්නේ කොහොමද? බලශක්ති හා පුනර්ජනනීය ඇමතිතුමා බිලියන 50 වියදම් කරන්ඩ බලන් ඉන්නේ ඊළඟ මාස 6 ට වැස්සේ නැති වුනහම විදුලිය හදන්ඩ...


බැඳුම්කර සිද්ධිය වගේ 50 ගුණයක්!

අර බිලියන 50 ගැන කවුරුත් කෑ ගහන්ඩ එපා... කෑ ගැහුවොත් ලයිට් කපනවා......අනික් එක ඕකට කෑ ගහල ඕක නතර කරලා ලයිට් කපන්ඩ වුනොත් මිනිස්සු උදහස් වෙන්නේ කෑ ගහපු අයත් එක්ක…. ඒක නිසා අර මෙගා ටෙලි නාට්‍ය වගේ මිනිස්සුන්ට මොනවා වුනත් අපි කතා කරන්ඩ ඕනේ ජනප්‍රිය දේවල්…. එතකොට තමා පරිසරවෙදියෝන්ට හැමදාම ටීවී එකේ කතා කරන්ඩ පත්තර වලට ලියන්ඩ දෙන්නේ …..රටට මොනවා වුනත් මිනිස්සු අහන්ඩ කැමති දේ කියනවා....
බිලියන 50 යන්නේ මොකටද - බහු ජාතික සමාගම් කීපයකට ඩිසල් වලින් විදුලිය හදල දෙනවට සල්ලි ගෙවන්ඩ.... ඒ ඩීසල් වලින් විදුලිය හදද්දී වෙන පරිසර දූෂණේ ගල් අඟුරු වලින් හදන පරිසර දූෂනෙට වැඩිය අඩුද වැඩිද? අපි හොයන්නේ නැහැ ඕවා !


ඔය වියදම් කරන බිලියන 50 හොයන්ඩ අපේ රටේ කාන්තාවෝ ලක්ෂ දෙකක් මාස 6 වැඩ කරන්ඩ ඕනේ ගෘහ සේවිකාවෝ විදියට මැද පෙරදිග! හැබැයි අපේ ඇමැතිතුමයි නිලධාරී ටිකයි AC කාමරයක් අස්සට වෙලා එක අත්සනක් ගහල අර මිනිස්සු ලක්ෂ දෙකක මාස 6ක දාඩිය මහන්සිය එක පාරින් වියදම් කරලා දානවා.... - කොහොමද ටිකිරි මොලේ? උද්ගෝෂන නැහැ....
මේ ඔක්කොම එහෙම වෙද්දී ජර්මනිය දැන් අවුරුද්දකට කලිනුත් අපි හදන්ඩ ගියා වගේ දෙගුණයක් විශාල ගල් අඟුරු බලාගාරයක් හැදුවා යුරෝපයේ හරිත අගනගරය කියල හඳුන්වන නගරයේ (Moorburg Power Plant - Hamburg )….. හදල නිකන් හිටියේ නැහැ… එක දුවල අර නගරෙට විදුලිය සපයනවා …..එහේ පරිසර දූෂණයක් වෙන්නේ නැද්ද? ඒක කොහොම වෙතත් මම එකක් හරියටම දන්නවා….. ජර්මන් කාන්තාවෝ ගෘහසේවිකාවෝ විදියට වෙන රටවල් වලට යවන්නේ නම් නැහැ කියල …..


මෙහෙම ඩිසල් වලින් විදුලිය හදන අස්සේ සූර්ය බල සන්ග්රමේත් කරගෙන යමු! මට තේරුම් ගන්ඩ බැරි පිටරට හදන සූර්ය කෝෂ ටික ගෙනල්ල හයි කරන්ඩ මොකටද මේ හැටි දැනුවත් තාක්ෂනවේදියෝ පරිසරවේදියෝ …. විදුලි කාර්මිකයෝ ටිකක් හිටිය නම් හරි නේ…. Plug & play! ඕකට ඔය හැටි විශාරදයෝ ඉන්ඩ ඕනේ යැ ? ජාතික විදුලි පද්ධතියේ stability එක? ආපෝ ඕව ඔලුවට බර වැඩයි! ඒ වගේද ගානක් තියාගෙන solar panel ඉම්පෝර්ට් කරන බිසිනස් එක - එක හරිම සිම්පල් ප්ලෑන් එකක්!


අපි ඉතින් ණය වෙලා ජර්මනිය ඇමෙරිකාවටත් වැඩිය වැඩියෙන් පරිසරය සුරකිමු (ඒ මිනිස්සු කාර්මික විප්ලවේ කාලේ ඉඳන් කරපු පරිසර දූෂණේ නිවැරදි කරන එක ලංකාවේ වැඩක් නේ)! ඒක නේ කියන්නේ අපි හරිම වෙනස් කියල! ගල් අඟුරු බලගරේ පරිසර දූෂනෙන් මිනිස්සු කීයක් මැරෙනවද අවුරුද්දට? ඒ වගේ ප්‍රශ්න අහන්ඩ එපා! ගල් අඟුරු බලාගාරයක් දුවල ඉතුරු වෙන සල්ලිවලින් අපිට වෙන මොකුත් වැඩක් නැද්ද කරන්ඩ පරිසරේ සුරකින්ඩ? එතකොට අර අපේ සහෝදරියෝ ගෘහ සේවිකාවෝ විදියට ගියපුවහම සමාජ ප්‍රශ්න? ඒවා පස්සේ කතා කරමු! දැන් රුපියල් බිලියන 50 ලෑස්ති කරගමු බිල ගෙවන්ඩ!


මතු සම්බන්ධයි !
(මතු සම්බන්ධයි කිව්වේ කතාවට නෙවෙයි විනාසෙට)

සාම්පුර් සයිටම් සහ අපේ අරමුණු!








බොහෝ පිරිසකට අවශ්‍යව ඇත්තේ අඩු පාඩු සකස් කරගෙන, කරන්නට සැලසුම කල දේ කරගෙන ඉදිරියට යාමට නොව කෙසේ හෝ එය නතර කිරීමටය. දෙයක් නතර කිරීම පහසු දෙයකි! ඉතාමත් ලේසි දෙයකි!
නමුත් අඩුපාඩු සකස් කරගෙන කරගෙන යෑම ඉතාමත් අමාරු දෙයකි! අවදානම් සහගත දෙයකි! බැනුම් ඇසීමට සිදුවන දෙයකි! ජනප්‍රියත්වය අඩු වන දෙයකි!
ඉතින් කෑ ගසා මොර දිදී කරන කරන වැඩේ නතර කරමු යැයි කෑ ගසන්නේ ඇත්තටම පොදු මිනිසුන් ගැන ඇති පරාර්ථකාමී චේතනවෙන්ද? කුහක චේතනවෙන්ද? යැයි තමන්ගෙන්ම අසා දැන ගත යුතුය!
වැඩි දෙනෙක් යුද පිටියට බසින්නේ 'නතර කරවූ' 'වහපියව්' කියාගෙනය.
'නිවැරදි කරවූ' 'හරියට කරපල්ලා' කියාගෙන යුද පිටියට බසින්නට තරම් අප දියුණු නැත! වැඩේ නොකර සිටීමට කරුණු සොයාගැනීමටත් කරන එකාගේ කකුලෙන් ඇදීමටත් අප දක්ෂයෝය!
මෙය අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් සයිටම් එකටත් සාම්පුර් ගල් අඟුරු බලගරයටත් තවත් බොහෝ දේටත් පොදු දෙයකි!


Related Posts Plugin for WordPress, Blogger...