Thursday, July 20, 2017

ගම්මුන්ගෙන් අසා නිගමනයකට එන විද්‍යාත්මක ක්‍රමය - ශ්‍රී ලංකික පරිසරවෙදීන්ගෙන් අසා දැනගමු

EFL නමැති පරිසර සංවිධානය එක්තරා පානීය ජල බෝතල් සමාගමක් නිසා එම ප්‍රදේශයේ භූගත ජලය සිඳී ඇති බවට ඇති ප්‍රවෘති නිවේදනයක් දුටු මම ඔවුන්ගෙන් ඊමේල් මගින් අසා සිටියේ එම නිගමනයට පැමිණියේ කෙසේද කියාය!


ඔවුන්ගේ පිළිතුර වුයේ ගම්මුන්ගෙන් පැමිණිලි අනුව ඔටාරා පදනමෙන් මෙම තොරතුර ලැබුණු බවය. මම නැවතත් අසා සිටියේ ඉහත නිගමනයට පැමිණි විද්‍යාත්මක ක්‍රම වේදය පවසන ලෙසය. එය ඔටාරා පදනමෙන් අසගන්නා ලෙසත් EFL සංවිධානය එම ප්‍රදේශයට කිසි දිනෙක ගියේ නැති බවත් මට දන්වා එවිනි. ඔවුන් විසින් ලබා දුන් ඔටාරා පදනමේ විද්‍යුත් ලිපිනයෙන් එම ක්‍රමවේදය අසා යැවුවද පිළිතුරක් නොමැත (සති 3 තිස්සේ). ඇතැම් විට ඔවුනුත් ගම්මුන්ගෙන් අසා විද්‍යාත්මක නිගමනයකට යන ක්‍රමවේදයක් අනුගමනය කර ඇතැයි මම අනුමානය කරමි. එය එසේ නොවන බව දන්නා කවුරුන් හෝ සිටී නම් කරුණාකර මාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.


මෙතෙක් ලැබූ තොරතුරු වල සාරාංශය මෙසේය - ඔටාරා පදනම නමැති සංවිධානය පරිසර බලපෑම් ගැන පරිසර සංවිධාන වලට ගුරුහරුකම් දෙයි. ඔටාරා පදනමට උපදෙස් දෙන්නේ ගම්මුන්ය (එම ගම්මුන් මේ පිළිබඳව අනුගමනය කරන ක්‍රමවේදය මා දන්නේ නැත - ඇහුවට මොවුන් කියන්නේද නැත). මේ අතර පරිසරවේදියෝ ලංකාවේ බලශක්ති අර්බුදය විසඳීමට රජයට අවවාද අනුශාසනා කරති. 


එහෙම වෙන්නේ ඇයි ... අයි ඩෝන්ට් නො වයි තමා !

Wednesday, July 19, 2017

මහා පාරේ මා දුටු එලිටිස්ට්ලා

එලිටිස්ට්ලා ගැන මා මුලින්ම දැනගත්තේ අරුණි ශේපිරෝ ගේ බ්ලොග් අඩවියේ තිබු බ්ලොග් පොස්ට් එකකිනි.  පසු ගිය දිනක ලංකාවේ සිටින විට දුටු පහත සඳහන් සිදුවීමත් සමග මොවුන් පිලිබඳ මාගේ මතකය නැවතත් අලුත්විණි.

දිනය - 2017 ජුලි 17
වෙලාව - ප.ව. 5.30
ස්ථානය - මහනුවර කටුගස්තොට මාර්ගයේ KPH රෝහලට හැරෙන හංදිය


මේ දිනවල කටුගස්තොට මහනුවර මාර්ගයේ ඉදිකිරීම් සිදුවන බැවින් ඉතා අධික මාර්ග තදබදයක් ඇති අතර සමහර විට කිලෝමීටර් 3 පමණ යාමට පැයකට ආසන්න කාලයක් ගත වේ. 


මා විසින් මගේ ජංගම දුරකතනයෙන් ලබාගත් ඡායාරූපයකි 


මේ ඡායාරූපයේ ඇත්තේ කේබල් ජෝය්න්ට් (cable joint) එකක් ගැසීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සේවක පිරිසකි. ඔවුන් පිරිස අවශ්‍ය බඩු භාණ්ඩ වාහනයෙන් බාගෙන අවහිර වූ මාර්ගය තවත් අවහිර වන සේ ඔවුන්ගේ වාහනය පාරේ නවතා නිවාඩු පාඩුවේ වැඩේ කරගෙන යන අකාරයක් මට පෙනුනි. බඩු ටික බා ගත් පසු වාහනය අන් අයට බාධා නොවන පරිදි වෙනත් ස්ථානයක නතර කිරීම පසෙක තබා රියදුරුද ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටිනවා පෙනුනි. මම දන්නා ආකාරයට ඔවුන්ගේ මෙම කාර්යයට වාහනයෙන් කිසිදු උපකාරයක් නොමැත. කේබල් ජෝය්න්ට් එක ගැසීමට අවශ්‍ය ගෑස් සිලින්ඩරය සහ අනෙකුත් කළමණා බාගත් පසු වාහනය ඉවත් කිරීමට ඔවුන්ට කිසිදු බාධාවක් නැත. අනෙක් කාරණය නම් මෙසේ පාර අවහිර කරගෙන මේ වැඩය කරනුයේ හදිසි බිඳ වැටීමක් යථා තත්වයට පත් කිරීමට නොව අලුත් කේබලයක් සඳහා බවත් පෙනුණි (මෙය අනුමානයක් පමණි).

සාමාන්‍ය වාහනයක් මෙසේ නැවැත්තුවා නම් මිනිත්තු කිහිපයක් ඇතුලත දඩ කොලයක් ලැබීම අනිවාර්ය දෙයකි. පොලිසියේ මහත්තුරුන් විදුලිබල මණ්ඩලයේ වාහන වලට දඩ කොළ නොලියන බව ස්ථීරවම දන්නා මොවුන් කිසිදු සාධාරණ හේතුවක් නැතුව වුවත් මෙසේ පාර අවහිර කරගෙන සිටින්නේ ඔවුන්ට කිරීමට පුළුවන් විදියට ඒ පාරේ යන දහස්ගණනක් මිනිස්සුන්ගේ ජීවිත තව තවත් අපහසුතාවයට පත් කිරීමටත් තමන්ගේ සුළු පහසුවත් පිණිසය. එසේ කවුරුන් හෝ පැමිණ ඔවුන්ව ප්‍රශ්න කරේ නම් දැමීමට ඔවුන් ළඟ කෙස් පැලෙන තර්කද අඩු පාඩු නැතුව ඇති බවද මම හොඳාකාරවම දනිමි.

ඔවුන්ගේ හැසිරීමෙන් මා දැක්කේ විදුලි කාර්මිකයන්ට වඩා එලිටිස්ට්ලා (elitist) ලා පිරිසකි. ඔවුන් වැඩය මන්දගාමීව කරගෙන සතුටු සාමීචියේ යෙදෙන අතර අසලින් අමාරුවෙන් තදබදයේ යන වාහන වල මිනිසුන් සහ ඔවුන්ගේ රථය නිසා අපහසුවෙන් වාහන හසුරුවන්නන් (මාද ඇතුළුව) දෙස බැලුවේ නියම එලිටිස්ට් මානසිකත්වයෙනි - "බලන්න අප වැන්නවුන්ගේ සේවය ගැනීමට මේ මිනිසුන් කොතරම් වාසනාවන්තද? ඒ නිසා අප ඔවුන්ගේ ජීවිතය තවත් අමාරු කොට මෙසේ අපේ රාජකාරිය කරාට කම් නැත - එය අපගේ වෘත්තීය අයිතියකි. කවුරුන් හෝ අපිට කොක්කක් දැම්මොත් අප මෙම වැඩය නවතා දමා යන්නෙමු. අප වැඩ කරන්නේ අපට අවශ්‍ය පරිදිය. ඒ ගැන අපට අභියෝග කිරීමට දැනුමක් ඇති කිසිවෙක් මේ අහල පහල නැත"



මේ මට ඡායාරූපයක් ගැනීමට හැකි වූ මෙවැනි එක් අවස්ථාවක් පමණි. මෙවැනි අවස්ථාවන් බොහෝ ගණනක් මම දැක ඇත්තෙමි - වෙනත් ආයතනවලත්. මෙවැනි දේවල් නැති කිරීමට අපට විශේෂ තාක්ෂණයක් හෝ දැනුමක් අවශ්‍ය නැත - අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි!


Thursday, May 25, 2017

ලෝක ඉතිහාසය වෙනස් කල කැසීම - උකුණෝ

නම කියන විටත් පිළිකුලක් උපදවන උකුණා වනාහි මිනිසා වානරයා ගෙන් පරිණාමනය වීමටත් කලින් කාලයේ සිටම (බල්ලාටත් කලින්ම) මිනිසා සමග බැඳී පවතින සත්වයෙකි - හරියටම කිව්වොත් පරපෝෂිතයෙකි.

පින්තූරේ ඉස්සුවේ මෙතනින් 
 මිනිසා සහ උකුණා අතර ඇති සම්බන්ධය ඇත්තෙන්ම පුදුම උපදවන සුළුය. 

උකුණන් විසින් ඉතිහාසය වෙනස් කරන ලද ප්‍රභලම සන්ධිස්ථානයක් අපට හමුවන්නේ නැපෝලියන් අධිරාජ්‍යයා සම්බන්ධයෙනි. 1812 වර්ෂයේ රුසියාව ආක්‍රමණය කිරීමට ගිය සොල්දාදුවන් ලක්ෂ 6 න් (මෙම සංඛ්‍යාව එකල පැරිසියේ මුළු ජනගහනයට වඩා වැඩි පිරිසකි), ලක්ෂ 4ම ආපසු පැමිණියේ නැත. 

නැපෝලියන් ගේ රුසියානු ආක්‍රමණය - පින්තූරේ ඉස්සුවේ 


මුලින් ඉතිහාසඥයන් විශ්වාස කල ආකාරයට මෙයට හේතුව වුණේ රුසියාවේ කර්කශ ශීත කාලයවත් රුසියන් සොල්දාදුවන්ගේ වීර ක්‍රියාවත් නොවන බව නවතම සොයාගැනීම් වලින් හෙළිදරව් වී ඇත. මේ සොයාගැනීමට අනුව උකුණන් මගින් බෝවන උණක් (typhus) මෙම හමුදාවට සැදීමය . කොටින්ම කිවහොත් මෙම සොල්දාදුවන් ලක්ෂ 4 මරණය සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ උකුණන්ය. නිවැරදිව කිවහොත් ඇඟේ උකුණන් ය. එකල පවතී පරිසර තත්වත් මොවුන්ගේ සනීපාරක්ෂණ තත්වත් මීට අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත. 

ක්‍රිස්තු පූර්ව 341 දී ස්පාර්ටන් වරුන් හා ග්‍රීකයන් අතර ඇති වූ යුද්ධය කාලයේ ඇතිවූ ඇතන්ස්හි වසංගතයත් උකුණන් නිසා සිදුවුයේ යැයි පැවසෙනවා

ඉංග්‍රීසියෙන් Louse හෝ බහු වචනයෙන් Lice යන නාම වලින් හැඳින්වෙන මෙම උකුණන් ප්‍රධාන වශයෙන් ජාති දෙකකි.

1. හිසේ උකුණන් - head lice 

2. සමේ / ඇඟේ උකුණන් - body lice 


(මීට අමතරව ලිංගාශ්‍රිත උකුණන් (pubic lice) ඇත - සුළු වශයෙන්. 



මෙම ලිංගාශ්‍රිත  උකුණන් මිනිස්සුන්ට බෝ වී ඇත්තේ ගොරිල්ලන්ගෙනි. එහෙම වුනේ කොහොමද යැයි මගෙන් අහන්නට එපාය - විද්යාඥයන්ද මෙය තවමත් සොයනවාය (නමුත් ඔවුන් දන්නා කාරණය නම් එම බෝ වීම බොහෝ විට සිදුවන්නේ ලිංගිකව එක්වීමකදීය. එහෙත් එසේ නොවන අවස්ථා ද ඇත). හරියටම මෙම සංක්‍රමණය සිදුවී ඇත්තේ (ගොරිල්ලගෙන් එකල සිටි මානවයාට) - අවුරුදු මිලියන 3.3 කට පෙරය. එකල සිටියේ හෝමෝ සේපියන් මානවයා නොවේය. ඉතින් එකල සිටි මානවයා ගොරිල්ලන් සමග කුමන සම්බන්ධයක් තිබ්බේද කියා සිතින් මවා ගැනීම මගේ බ්ලොග් පාඨක ඔබට භාරය). 

උඩ තියෙන උකුණෝ පින්තූර 3ම ගත්තේ මෙතනින්.

මෙයින් හිසේ උකුණන් වඩා ප්‍රසිද්ධ කොටස වුවත් මෙයින් වඩාත්ම භයානක වන්නේ ඇඟේ උකුණන් ය. නැපෝලියන්ගේ හමුදාවට වුවා මෙන් මෙම ඇඟේ සිටින උකුණන් විෂ බීජ පතුරුවන අතර නොයෙකුත් භයානක ලෙඩ රෝග එමගින් මිනිසුන් අතරේ පතුරුවයි. හිසේ උකුණන් බොහෝ විට කරදරයක් කැසිල්ලක් පමණි. මෙම උකුණන් ජාති දෙක අතර පෙනුමෙන් හෝ ජානයම වශයෙන් වෙනසක් නොමැත.  වෙනස වන්නේ මොවුන් ජීවත් වන සහ යැපෙන ප්‍රදේශයි.

හිසේ උකුණන් බෝ වන්නේ කෙසේද?

බොහෝ දෙනෙක් උකුණන් බෝවන්නේ අපිරිසිදුකම නිසා කියා සිතා සිටියද ඇත්තටම මොවුන් බෝවන්නේ එක් අයෙකුගේ හිස අනික් අයෙකුගේ හිසේ ගැටීමෙනි. 
හිසේ උකුණන් සංක්‍රමණය වන අවස්ථාවක චායරුපයක් - පින්තූරේ ඉස්සුවේ මෙතනින් 



නමුත් අපිරිසිදුකම මෙම සංක්‍රමණය වූ උකුණන් වර්ධනය වීමට ප්‍රධාන හේතුව වේ. ඉතින් උකුණන් වැඩි වුවහොත් හේතුව එයය. 

කැසීමේ ඉතිහාසය 

දැනට හොයාගෙන ඇති කරුණු අනුව දැන් සිටින ආකාරයේ උකුණන් මානවයන් සහ  චිම්පන්සීන් සමග සිට ඇත්තේ අවුරුදු මිලියන 5.5 කට පෙර සිටය. එනම් අපේ කැසිල්ල අවුරුදු මිලියන ගණනක් පරණ කැසිල්ලකි.  නමුත් මෙම ලේ උරා බොන උකුණන් පෘතුවියේ සිට ඇත්තේ අවුරුදු මිලියන 25 ක පෙර සිටය. 

හෝමෝ සේපියන් මානවයා හෝමෝ එරෙක්ටස් මානවයාගෙන් පරිණාමනය සිදුවී වෙන්වී පැමිණෙන විට මෙම උකුණන් ද රැගෙන පරිනාමනය වී පැමිණ තිබෙනවා. මෙම උකුණන් ඉතා වේගයෙන් නව තත්ත්ව වලට   පරිණාමනය වන බැවින් තාම නිශ්චිත බෙහෙතක් නම් හොයාගෙන නැහැ - උකුණන් ට. සොයා ගන්නා ගන්නා බෙහෙතට මොවුන් ප්‍රතිරෝධී ලෙස පරිණාමනය වීම තමා මීට හේතුව. වඩා බලවත් උකුණන් ඇති වීමට හේතුව තමා අපි උන්ව නැති කරන්න කරපු උත්සාහයන්!

පොඩ්ඩක් ඔලුව  කසනවා වගේද දැන්? 😏එහෙම නම් පල්ලෙහා අපිට ඒ බව කියලම යන්න!


Wednesday, May 24, 2017

ඉන්දියාවේ බලශක්ති ඇමති හා අපේ ඇමති - මනං කල්පිත ලෝකය සහ පියවි ලෝකය

අපෙන් සුද්දා අවුරුදු 500 විතර හොරා කෑවේය. අන්තිම අවුරුදු 200 අපෙන් හොරා කන අතර කාර්මික විප්ලවේ කොට ඇති තරම් පරිසරය දූෂණය කළේය. සුද්දා අපෙන් නිදහස් වූ පසු අපි උන්ගේ වැදී බණ අසා ලෝකය ගෝලීය උණුසුමින් බේරා ගැනීමට උත්සාහ කරන්නෙමු. ඒ අතර අපේ එවුන් කුණු ගොඩට යටවී පණ පිටින් වැළලෙති. මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ලත වෙති. අපට අපේ එවුන් ටික බේරා ගැනීමටත් බැරිය. එහෙවු අපි මුළු ලෝකයම ගෝලීය උණුසුමින් බේරා ගැනීමට පුළුවන් යි සිතමින් ඒ අනුව ක්‍රියා කරමින් තවත් දුප්පත් කමේ අන්තයටම වැටෙන්නමු. අප එසේ මනං-කල්පිත ලෝකයක සිටිනා බව අපි පිළිගැනීමට අකමැතිය. එසේ කියනා එවුනුත් ඔවුන්ගේ හතුරන්ය (මාත් ඇතුළුව)

ඉන්දියාවේ බලශක්ති ඇමතිවරයා සිටින්නේ මේ මහා පොළොවේ පය ගසාය. ඔහු සිතිනුත් සිටිනුයේ මේ ලෝකයේය. 

නැතිනම් ඔහු මෙසේ කියන්නේ නැත 
"අපේ ජනයාගෙන් 30% අන්ත දිලින්දුන්ය. මට ඔවුන් ට මෙසේ කීමට නොහැකිය (වරහන් ඇතුලේ (කලිසමක් ඇඳගෙන)) "සුද්දා පහුගිය අවුරුදු 200 ම පරිසරය දූෂණය කොට වායු ගෝලය උණුසුම් කරේය. ඔවුන්ගේ පවු ගෙවීමට නුඹලා 3 ගුණයක් වැඩියෙන් විදුලියට ගෙවාපල්ලා"

"Thirty per cent of our people are living in poverty,” he says. “I cannot tell them: British people have benefited from coal-based power for 200 years and have spewed all that carbon up there and now India will pay three times the cost.


"හවස හයට ඔක්කොම ශට් ඩවුන් කරපල්ලා ඔන්න ඉර බැස්සා කියන්න බෑ "



මීන් වයිල් - ලංකාවේ බලශක්ති ඇමති "මම යුද්ධයක් කරනවා වගේ සූර්ය බලසන්ග්රාමේ කරන යනවා පසු නොබලා"

අපේ ඇමතිතුමාගේ කථාව මෙතනින්!

විදුලිය ඒකකයක් මිලදී ගන්නා රුපියල් 22 ත් විදුලි ඒකකයක් විකිණීමේ සාමාන්‍ය අගය වන රුපියල් 16 (2016 මහා බැංකු වාර්ථාවට අනුව) අතර වෙනස ගෙවන්නේ කවුරුන්ද කියා ඔහු දන්නේද නැත.

අපේ මාධ්‍යවේදීන් එවැනි ප්‍රශ්න ඔවුන්ගෙන් අසන්නේද නැත. අසන්නට ඔවුන් ඒවා ගැන දන්නේද නැත. ඔවුන්ගේ ප්‍රශ්න වනාහි ඉල්ලුමට සපයුමකි. 

අපි හුරේ දමමු! අපේ මේ නාටකේ දෙස බලා සුද්දා අනුකම්පා කරණු ඇත්දැයි හිනා වෙනු ඇත්දැයි මම නොදනිමි.!

Monday, May 8, 2017

ඩීසල් බලාගාර කළමණාකරු ගේ පිළිතුරු ලිපිය හෙවත් ස්වභාවික වායු බෝඩ් සහිතව ඩිසල් වලින් විදුලිය නිපදවීම සාධාරණීකරණය කිරීම

මා විසින් පළමුවෙන් මුහුණු පොතේ පල කරන්නට යෙදුනු ඉන් පසුව විවිධ මාධ්‍යයෙන් අවධානයට ලක්වූ (මාධ්‍ය සදාචාරයක් නොමැති ලංකාඊනිව්ස් විසින් සොරාගත්) මාගේ ලිපිය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ  ඉංජිනේරු ප්‍රවෘත්ති (Sri Lanka Engineering News) හි ලිපියක් ලෙස පළවීමත් සමග එයට පිළිතුරු ලිපියක් කෙරවලපිටිය සංයුක්ත විදුලි බලාගාරයේ කළමනාකරු (ස්වභාවික වායු බලාගාරය බෝඩ් එකක් සහිතව ඩිසල්/දැවිතෙල් මගින් විදුලිය සාදන මෙගාවොට් 300 බලාගාරය) මා හට පිළිතුරු ලිපියක් ඒවා ඇත.

මා විසින් සිංහල බ්ලොග් ලෝකයට අවතීර්ණ වීමට පළමුවෙන් ලියා පළකරේද මෙම ලිපියයි - නොපෙණෙන විදුලියේ නොපෙනුණු කතාවක්

කෙරවලපිටිය කළමනාකරුගේ පිළිතුරු ලිපිය

මාගේ පිළිතුරු ලිපිය මීළඟ SLEN මැගසිනයේ  පලවන අතර මෙය මාගේ බ්ලොග් අඩවියේ පාඨකයන් ගේ දැනුමට, රස වින්දයනට සහ සංවාදයට මෙසේ පල කරමි. ඔහු විසින් පිළිතුරු ලිපියක් ලියන්නට යෙදුනහොත් එයද මෙහි පලකරන්නෙමි!




ගරු සංස්කාරක, SLEN
හා කෙරවලපිටිය විදුලි බලාගාර කළමනාකරු - ඉංජිනේරු තරිඳු ජයත්

මාර්තු මස 9 වැනි දින මා හට යොමු කරන ලද පිළිතුරු ලිපිය සම්බන්ධයෙනි. පළමුව පැවසිය යුත්තේ 2016 නොවැම්බර් මස SLEN මැගසිනයේ  පළ වූ මා විසින් රචිත ලිපියේ මාතෘකාව  “මා විසින් මුහුණ පෑ සත්‍ය සිදුවීක්මකි! නදීර විජේසිංහ විසිනි” යන්න මිසක් ඔබේ පිළිතුරු ලිපියේ ඇති පරිදි “ශ්‍රී ලංකාවේ ගල් අඟුරු බලශක්තිය” නොවන බවයි.

මා  විසින් ලිපියෙන් ඉස්මතු කොට පෙන්නීමට උත්සාහ කලෙත් මට ලැබුණු බහුතර පාඨක ප්‍රතිචාර වලින් තේරුම් ගත් පරිදි බොහෝ පාඨකයන් ලබාගත් ප්‍රධාන පණිවිඩය වුයේත් දරාගැනීමට නොහැකි මිලකට විදුලිය ලබා දීමෙන් ඇතිවන සමාජීය ගැටලුය (social  impacts of NOT having affordable electricity ). මෙම මානය අප රටේ බලශක්තිය ගැන කථා කරන බොහෝ දෙනෙකුට නොපෙනෙන බැවින් එය පෙන්නා දීමය මාගේ උත්සාහය වුයේ.

කෙසේ නමුත් මාගේ යථෝක්ත ලිපියේ පෙන්වූ කරුණු වලින් ඔබ සහ ඔබ ආයතනය උකහාගෙන ඇත්තේ වෙනස් දැක්මක් බවත් මාගේ ලිපියේ ඇති එක් වාක්‍යයක් ආශ්‍රයෙන් ඔබ පිළිතුරු ලිපිය ලියා ඇති බවත් පෙනීයයි. මා විසින් පිළිගත් මූලාශ්‍ර ආශ්‍රයෙන් ලිවූ ලිපියට ඔබ රටේ තවත් ඉංජිනේරුවෙකු වශයෙන් දැක්වූ ප්‍රතිචාරයට මා ගරු කරන අතර එයට පිළිතුරු ලිපිය මෙසේ ලියමි.

මාගේ ලිපියේ මා  විසින් උකහාගෙන ඇති මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) 2015 වර්ෂයේ විදුලි ජනන වාර්තාවේ ඇති ගණන් මිනුම් “සාවද්‍ය” බව ඔබේ ලිපියේ සඳහන් කොට ඇත. ඔබ කිසිදු ගණනය කිරීමක් නොමැතිව මෙම ප්‍රකාශය කර ඇත. ඉංජිනේරුවෙකු වශයෙන් ඔබ මෙසේ කිරීම මෙය බරපතල කාරණයකි. මා ඔබට අභියෝග කර පවසන්නේ එම ගණන් මිනුම් වැරදි නම් නිවැරදි ගණනය කිරීම අදාල මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කරන ලෙසය.

මා විසින් උකහාගත් වාර්ථාව 2015 වර්ෂයේ එකකි - අවම වශයෙන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් කල් ගිය වාර්තාවකි. ඉතින් එවැනි වැරදි වාර්තාවක් පිලිබඳ ඔබ ආයතනය මාගේ ලිපිය පලවන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේද? ගත්තේ නම් ඒ පිළිබඳවද අප පාඨකයන් දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
නැතහොත් මාගේ ලිපිය ඇස ගැටෙන තුරු එවැනි වාර්තාවක් ඇති බව දැන නොසිටියේද?

ඔබේ ලිපියේ මෙම PUCSL වාර්තාවේ ඇති ගල් අඟුරු විදුලි ජනන ඒකකයක පිරිවැය රු. 7.63 වැරදි බව (ඔබේ වචනයෙන් ‘සාවද්‍ය’) බවත් එය ඊට වඩා ඉහල අගයක් ගතයුතු බවත් ගණනය කිරීමකින් තොරව  පවසයි. ඔබ 2015 මහ බැංකු වාර්තාව  අධ්‍යයනය කර බැලුවහොත් එහි සඳහන් වන්නේ 2015 වර්ෂයේ මෙම අගය රු. 7.33 බවය. තවත් ලෙසකින් පැවසුවහොත් ඔබ පවසන්නේ මහා බැංකු වාර්තාවද ‘සාවද්‍ය’ බවයි. ඔබගේ ගණනය කිරීමට අනුව ලංකාවේ අය වැය පරතරයද රජයෙන් පවසන අගයට වඩා වැඩි විය යුතුය මක් නිසාද යත් වියදම් අඩුවෙන් පෙන්වා ඇති බැවිනි.

2015 මහා බැංකු වාර්තාවත් PUCSL වාර්තාවත් වැරදි යි කීමට ඔබ සතුව ඇති ඔබ නිවැරදි යි පවසන ක්‍රමවේදයත් එහි මූලශ්‍රත් අප පාඨකයනුත් මාවත් දැනුවත් කිරීමට කෙරවලපිටිය බලාගාරයේ වගකිව යුතු කළමනාකරු ලෙසත් ඉන්ජිනේර්වරයකු ලෙසත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි. ඔබ විසින් සොයා ගත්තා යැයි කියන එම ගණනය කිරීමේ දෝෂ ලංකා ආර්ථිකයේ නව පිටුවක් පෙරලනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

යථෝක්ත ලිපියේ ඇත්තේ කෙරවලපිටිය බලාගාරයේ ඒකක පිරිවැය ගණනය කිරීමේදී පමණක් මෙහෙයුම් පිරිවැයට අමතරව ව්‍යාපෘති පිරිවැයද එකතු කර ඇති බවය. මෙය පාඨකයා නොමග යැවීමට සහ සරල ප්‍රශ්නයක් ඉතාමත් සංකීර්ණ කොට පාඨකයා වික්ෂිප්ත කිරීමට ගත් උත්සහයක් පමණක් බව පෙන්වදෙන්නෙමි. ඔබ PUCSL වාර්ථාවේ 12 පිටුව හොඳින් නිරීක්ෂණය කළහොත් සියලුම විදුලි බලාගාර වල ඒකක පිරිවැය ගණනය කර ඇත්තේ පහත සමීකරනයෙනි.

ඒකක පිරිවැය = (CEB මගින් අදාළ බලාගාරයට වියදම් කල මුදල) / (බලාගාරයෙන් ජනනය කල විදුලි ඒකක ගණන)

එසේ නොමැතිව ඔබ පවසන පරිදි මෙම ගණනය කිරීම් ඉන්ධන වියදම් ආශ්‍රයෙන් පමණක් කලේ නම් මහා පරිමාණ ජල විදුලි බලාගාර වල එකක පිරිවැය සාමාන්‍යය රු. 3.37 ලෙස ගණනය වන්නේ කෙසේද යන සරල ප්‍රශ්නය ඔබෙන් ඇසීමට කැමැත්තෙමි.

තවද ඔබ දක්වා ඇති ජනන ප්‍රමුඛතාව (merit order of dispatch) උක්ත ගණනය කිරීම සමග සම්බන්ධ වන්නේ කෙසේද? කෙරවලපිටිය බලාගාරයට පමණක් වෙනස් ගණනය කිරීමක් කල  සාක්ෂි තිබේද? නැතිනම් CEB මගින් ඔබ බලාගාරයෙන් 2015 ප්‍රථම භාගයේ ජනනය කල විදුලි එකක මිලියන 131 සඳහා ලැබුණු ගෙවීම රුපියල් මිලියන් 5,991 ට වඩා අඩු මුදලක්ද? අදාළ නොමැති කරුණු ගෙනහැර පාමින් පාඨකයා වික්ෂිප්ත කිරීමට ඔබ ගෙන ඇති උත්සාහය පසෙකලා මෙම පැහැදිලි කිරීම් අදාල මූලාශ්‍ර සහිතව පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.

ඔබගේ ලිපියේ නිරීක්ෂණය කල හැකි තවත් කරුණක් වන්නේ ගල් අඟුරු බලාගාරයේ වියදම් වාර්තාවලට වඩා ඉහල බවත් යම් යම් වියදම් නොසලකා ඇති බවත් ලිපිය පුරා කරුණු ගෙන හැර දැක්වීමයි. තවත් විදියකින් පැවසුවහොත් ගල් අඟුරු වලින් විදුලිය ජනනය මිල අධික බව පෙන්වීමට තැත් කිරීමයි. එහි යටි අරමුණක් හෝ සැඟවුණු අරමුණක් හෝ ඇති යි මම නොකියමි. නමුත් ඔබ පිළිතුරු ලිපියකින් ගණන් මිනුම් සහිතව එම කරුණු සාක්ෂි සහිතව ඔප්පු කරනු ඇතැයි සිතමි.  තවත් සිත් ගන්නා කාරණයක් වන්නේ රජයේ බදු ඉවත්කලහොත් කෙරවලපිටියේ සංයුක්ත බලාගාරයේ ඒකක පිරිවැය රු. 11.63 බව පැවසීමය. මෙම අගයත් මහජන මුදලින් 2015 වර්ෂයේ ඔබ බලාගාරයට ගෙවා ඇති රු. 45.75 ක එකක අගයත් අතර වෙනස සැදෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි (නඩත්තු වියදම්, ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය බදු ආදී වශයෙන්). තවද මෙගාවොට් එකක් සඳහා කෙරවලපිටිය බලාගාරයේ ව්‍යාපෘති පිරිවැය නොරොච්චෝලේ බලාගාරයට වඩා අඩු නම් කෙරවලපිටිය බලාගාරයේ capacity charge අගය අඩු විය යුතුය. මේ පිළිබඳව ඔබ අප සියලු දෙනාට ගණන් මිනුම් ඇතිව ඔබගේ ගණනය කිරීම අප උදක්ම බලාපොරොත්තු වෙමු.

අවසාන වශයෙන් කීමට ඇත්තේ ඔබ දැනට ප්‍රසිද්ධියට පත්කොට ඇති ඉතා වැදගත් රාජ්‍ය වාර්තා දෙකක් ‘සාවද්‍ය’ බව කිසිදු තාර්කික ගණනය කිරීමකින් තොරව පවසා ඇත. මා ලිපියෙන් මතුකළ ප්‍රධාන කාරණය - එනම් ඩිසල් බලාගාර (දැවිතෙල්) වලින් විදුලිය ජනනය කිරීම අප ආර්ථිකයට දරාගත නොහැකි පාඩුවක් සිදුවන බවත් එහි සමාජීය හා පාරිසරික බලපෑම දැකීමට ඔබ අපොහොසත් වී ඇති බවත් තවත් මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාර නාම පුවරුවක් සහිතව දැවිතෙල්/ඩිසල් බලාගාරයක් සැදීමට තැබූ පළමු පියවරක් ලෙසත් ඔබේ ලිපිය මම දකිමි. එවැනි ව්‍යාපෘතියක් (සැලසුමේ ටෙන්ඩර් පත්‍රිකාවට දිගුව hyperlink කර ඇත) දැනටමත් ඔබ සේවය කරන විදුලි බලාගාරය ආසන්නයේම ක්‍රියාත්මක කිරීමට සැලසුම් ඇත. එවැනි සැලසුමකින් තවත් මහජන මුදල් ගරා ගැනීමට අමතරව එම ව්‍යාපෘති සාධාරණීකරණය කරන්නට ලිපි ලියන්නේ ඔබේ ලිපියේ ඔබම පවසා ඇති පරිදි “ඒ පිළිබඳව දැනුමක් නොමැතිවද? නැතිනම් පටු පරමාර්ථ වෙනුවෙන්ද? පොදු ජනයා වික්ෂිප්ත කිරීමටද” නැතිනම් ඒ සියල්ලටම දැයි සිතීම බුද්ධිමත් පාඨක ඔබට සිතීමට ඉතුරු කරමින් ලිපිය අවසාන කරමි.

විදුලි ඉංජිනේරු - නදීර විජේසිංහ

ප. ලි. - යෝජිත සාම්පුර් බලාගාර ව්‍යාපෘතිය අවලංගු කොට එම මෙගාවොට් 500 කෙරවලපිටිය වැනි දැවිතෙල්/ඩිසල් වලින් විදුලිය ජනනය කරන (ස්වභාවික වායු බලාගාර බෝඩ් එකක් ඇති) බලාගාරයක් දැමීමෙන් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව වර්ෂයකට මත්තල ගුවන් තොටුපළ වැනි ගුවන්තොටුපළවල් හතරක් සෑදීමට ප්‍රමාණවත් මුදලකි. මේ එම විදුලිය නිපදවීමට යන මුළු මුදල නොවේ - වැඩිපුර ගෙවීමට සිදුවන මුදලයි.  

දේශානුරාගී රාජ්‍ය සේවකයෝ හා තීරණ නොගෙන සිටීමේ නිදහස!


අපේ රටේ සිටින බහුතරයක් රාජ්‍ය වෘත්තිකයෝ සිටින්නේ අපට සේවය කිරීමටය (වරහන් ඇතුලේ  පොතේ හැටියට සහ කන්තෝරුවල වටේ පිටේ එල්ලා ඇති බෝඩ් වල කියන හැටියට). පොලිසියේ OIC ගේ සිට ග්‍රාමසේවක, කච්චේරියේ ලිපිකරුවා ආදී මෙකි එකී නොකී බහුතරය මෙකී කුලකයට අයත් වේ ! ඔවුන්ගෙන් බහුතරයක් කියන්නේද එසේය.






දේශානුරාගයෙන් ඔද වැඩී ඇති, විදේශ රටක සේවයට නොයන, ජනතාවට සේවය කිරීමට සැදී පැහැදී ඇති ඔවුන්ගෙන් සේවයක් ලබාගැනීමට අප ඔවුන්ගෙන් පුද්ගලික උදව්වක් ලබගන්නාක් මෙන් බැගෑපත් විය යුතුය. අසරණ මිනිසුන් හතරට පහට නැවී සිටිනා හැටි ඕනෑම කන්තෝරුවක දැකිය හැක. කර ගත යුතු වැඩේ විනාඩි 5 ක වැඩක් වුවද ඔවුන් සති 5 ඉල්ලුවද කට වහන් සිටිය යුතුය. නැතිනම් අවුරුදු 5කට කල් දැමීමේ අවදානම දරාගෙන ඔවුන්ට කොකු දැමිය යුතුය. බුලත් හුරුල්ලක් නොදුන්නද කර ගත යුත්ත පවසා ඔවුන් ස්වේච්ඡාවෙන් කරන මහා පුණ්‍ය කර්මයක් කරන මෙන් ඉතා උද්දාමයෙන් එය නිවී සැනසිල්ලේ කරදෙන තෙක් ඉවසා සිටිය යුතුය. ඔවුන් සිතනුයේ ඔවුන්ගේ මෙම සේවාව ලබාගැනීමට අප පින් කර ඇති බවය. එබැවින් පින් මද පාරිභෝගිකයා ඉතා ඉවසිල්ලෙන් ගෞරවයෙන් සිටිය යුතුය. 

විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු ගතවූ කාලයෙන් වැඩි කාලයක් (80% කට වැඩියෙන්) මා ලංකාවේ පළාත් 3 ක පිහිටි පෞද්ගලික ආයතනවල  සේවය කල බැවින් විටින් විට රාජකාරි මෙන්ම පෞද්ගලික අවශ්‍යතා සඳහා  මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ලිපිකරුවාගේ සිට අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජෙනරාල් දක්වා මෙම හැසිරීම සහ ආකල්ප විඳ ඇත්තෙමි. ඔවුන්ගේ එක් එක් ක්‍රියාකලාපයන් නිසා පරක්කු වූ වැඩ හා ව්‍යාපෘති ගැන කියන්නට ගියහොත් මෙම ලිපිය ඉවර වන්නේ නැති බැවින් ඒවා වෙනත් දවසක කියන්නට බලාපොරොත්තු වෙමි. ඔවුන් සමග හිතවත් වී අල්ලාප සල්ලාපයකට සෙට් වූ විට ඔවුන් පවසන්නේ ඔවුන්ට විදේශවල පෞද්ගලික ආයතනවල ඇති තරම් අවස්ථා ඇති නමුත් ලංකාවට ඇති ආදරය නිසා මෙම රැකියාව කරමින් රජයේ සේවය කරන බවය. නමුත් ඔවුන් කරගන්නේ තම පෞද්ගලික සුඛ විහරණයට කාරණා මිසක් රටට ජාතියට ලෝකයට වැඩදායි  කර්තව්‍යයක් නොවන බවක් තේරුම් ගැනීමට නොහැකි ලෙස මනෝ භාවයක සිරවී ඇති බවක් දුටුවෙමි. ඇතැම් විට ඔවුන් මුලදී එවැනි යහපත් ආකල්පයක සිටින්නට ඇත (මා හොඳින් දන්නා සමහරු රාජ්‍ය සේවයට ගියේ එය වෙනස් කිරීමටය. නමුත් සිදුවී ඇත්තේ එම රාජ්‍ය සංස්ථාව මගින් කාලයක් ගතවන විට එම පුද්ගලයා වෙනස් කිරීමය). නමුත් කල් යද්දී අර නස්රුදීන්ගේ කතාවේ මෙන් ඔවුන් විසින් මවාගත් බොරුව ඔවුන්ටම සත්‍යයක් වී ඇති සැටියකි. 

ඉතා හිතවත් අයෙකුගෙන් ඇසු විට "ඇයි මචං ඔය රස්සාවේ පඩි මදි නම් growth එකක් නැත්තන් වෙන රස්සාවකට යන්නේ නැත්තේ" ඔවුන්ගේ පිළිතුර වන්නේ "මචං මේකේ වගේ නිදහසක් නැහැ නේ"

මුලදී මට මොවුන්ගේ නිදහස කුමක්ද යැයි හරි හැටි නොතේරිණි. මා මුලින්ම සිතුවේ මොවුන් අදහස් කරන්නේ තීරණ ගැනීමේ නිදහස සහ පෞද්ගලික නිදහස කියාය. නමුත් කල් යන විට මා තේරුම් ගත් දෙය වන්නේ මොවුන්ගේ නිදහස වන්නේ තීරණ නොගෙන සිටීමේ නිදහස (වැඩ නොකර සිටීමේ නිදහස) බවය. මොවුන් බහුතරයක් අවදානමක් නොගෙන සිටින්නේ තමාගේ රස්සාවේ සුරක්ෂිතභාවය රැක ගැනීමටය. නමුත් ඇහුවොත් කියන්නේ මේ රස්සාව පලක් නැති බවය ඒ ගැන වැඩිය නොතකන බවය. දේශපාලකයන් ඔවුන්ට රිසි සේ රටට සේවය කිරීමට නොදෙන බවය (කන්තෝරුවේ ඇති පෝරමය පුරවා දුන් පසු මිනිත්තු 5 කින් කල හැකි තමා අතේ පාලනය ඇති දේ සති ගණනකින් පරක්කු කිරීමට එම කන්තෝරු වල දේශපාලකයෙක් නම් නොදුටිමි). 




ඉදින් පලක් නොමැති රස්සාවෙන් ඔවුන් රටට පලක් කරන්නේද නැත! අප ඔවුන්ටද  පලක් නොමැති රස්සාවෙන් ලබාදෙන සේවයෙන් තෘප්තිමත් විය යුත්තෝ වෙමු. 



ඉතින් ඔවුන් මෙසේ අසන්නේ නැත!




නමුත් ඔවුන් වැඩ වර්ජනය කරන්නේ සියලු වෘත්තීය ක්‍රියා මාර්ග ගනුයේ රට ජාතිය අනාගත පරම්පරාව බේරා ගැනීමේ සටන් පාඨය සහිතවය. ප්‍රවෘත්ති සාකච්ඡා දුටු විට ඔවුන්ගේ දේශප්‍රේමී කථා අසා අපේද ඇඟේ මයිල් කෙලින් වේ. නමුත් සෑම ක්ෂේත්‍රයක්ම වල පල්ලට ඇද දමන්නේ මොවුන්ගේ ක්‍රියා කලාපයයි. නමුත් ඔවුන්ගේද බැනීම කෙලවර වන්නේ දේශපාලකයන්ගෙනි. 

තම අභිවෘධිය සඳහා (ආත්මාර්ථකාමී හැඟීමකින් හෝ) වැඩ කිරීමේ වැරද්දක් මා දකින්නේ නැත. නමුත් තම ආත්මාර්ථය ඉටු කරගනු වස් දේශානුරාගය ජාත්‍යාලය වැනි සංකල්ප සියල්ල යොදාගෙන විකෘති සංකල්පයක් සාදා මොවුන් තීරණ නොගෙන සිටීමේ (වැඩ නොකිරීමේ) නිදහස තම පරම අයිතියක් කරගෙන සිටිති. එම නිදහසට අත තැබීමට යන සියල්ලෝ ඔවුන්ගේ සතුරෝය.


ප. ලි - මා මේ පවසන දෙය එක් වෘත්තිකයෙකුට හෝ වෘත්තීයකට සීමා කොට සිතීමෙන් වලකින්න. මෙම ඉහත කුලකයට නොවැටෙන කැපවීමෙන් තම රාජකාරිය ඉටු කරන සුළු පිරිසක් රාජ්‍ය සේවකයන්  මෙයින් හිත නොරිදවා ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි. 


සියලු ප්‍රශ්න වලට උදේ හවස දේශපාලකයන්ට බැන වදින මොවුන් පිළබඳව සිංහල බ්ලොග් අවකාශයේ කිහිප විටක්ම ලියා ඇති බැවින් ඒවා කිහිපයක් පහත උපුටා දක්වන්නෙමි.

 මේ ගැන මා මිතුරු කලණසිරි ඔහුගේ කලාහිත බ්ලොග් අඩවියේ ලිපියක් ලියා තිබුණි - ලංකාවේ නරකම නිලධාරින්ය... Politicians are little better . ඔහු පවසන දෙයට මට 100% එකඟ විය හැකිය.

මේ කාරණයටම අදාලව අරුණි ශපිරෝ ගේ බ්ලොග් අඩවියේ තවත් ලිපියක් තිබිණි -  "තමන් වෙනුවෙන් තීරණ ගන්නට නොදන්නා සමස්ත පොදු ජනතාවගේ යහපත උදෙසා, ආණ්ඩුව මාර්ගයෙන් ඒ පොදු ජනතාවගෙන්ම බලහත්කාරයෙන් උදුරා ගන්නා බදු මුදලින්, මේ එලීටිස්ට්ලාට තනතුරු හා ප්‍රතිලාභ සැපයීමට අවශ්‍ය බව ඔවුන් තරයේ විශ්වාස කරති."
"ඉතින් එලීටිස්ට්ලා තාප්ප ඉදිකරන්න කියති. තාප්ප කඩන්න කියති. නැවත ඉදිකරන්න යැයි කියති. මිනිසුන් දහදිය වගුරවමින් කය වෙහෙසන හැටි බලමින්, ඉහළට යන තාප්ප පෙන්වමින්, කඩා දමන තාප්ප පෙන්වමින්, ඔවුන් වෙහෙසනවා බලන්න ඔවුන්ට රැකියා ඇති හැටි බලන්න යැයි උදම් අනිති."

මහාචාර්ය චන්දිම ගෝමස් ද මීට අදාලව තවත් dimension එකකින් කතාවක් ලියා තිබුණි - ගුණරත්නලාගේ ලෝකය




Tuesday, May 2, 2017

බලශක්ති අර්බුදය ආර්ථික අර්බුදයක් කරා යන අයුරු!

2016 මහා බැංකු වාර්තාව නිකුත් වී ඇති බව මම දැන ගත්තේ ඉක්නොනොමට්ටා ගේ සතපහ බ්ලොග් අඩවියෙනි. 

එයට අනුව විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 13.2 ක පාඩුවක් 2016 වර්ෂයේදී ලබා ඇත. 2015 වර්ෂයේ මෙම අගය රු. බිලියන 19.4 ක ලාභයකි. එනම් නැවතත් විදුලි බල මණ්ඩලය ජාතික ආර්ථිකයට  සෘණ දායකත්වයක් ලබා දීමට පටන් ගෙන ඇත. මෙයට සරලම හේතුව වර්ෂාව අඩුවීම නිසා එම අඩුව ඛනිජ තෙල් මගින් විදුලිය නිපදවීමය. 
මූලාශ්‍රය - විදුලි බල මණ්ඩලය 

2015 වර්ෂයේ 17.4% ව තිබු ඛනිජ තෙල් ආශ්‍රිත විදුලි නිපදවීම දෙගුණයකට ආසන්න වශයෙන් 31.5% දක්වා වැඩි වී ඇත. 

මේ අතර අද සිට දහවල් කාලයේ සියලුම කර්මාන්තශාලාවල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා කිරීම අනිවාර්‍ය කොට ඇත - (ප්‍රවෘත්ති නිවේදනය) . ජනනය කරන විදුලි ඒකකයක් සඳහා රු. 36 ගෙවනු ලැබේ.

විදුලි ඒකකයක් විකිණීමේ දල අගය රු. 16 කි (මූලාශ්‍රය - 2016 මහා බැංකු වාර්ථාවරු. 20 ක වෙනස (වියදම සහ විකුණුම් මිල අතර පරතරය) ගෙවන්නේ ඔබත් මමත් අපේ අනාගත පරම්පරාවත්ය.

මෙම කුඩා විදුලි ජනක යන්ත්‍ර වල වායු දූෂණය පාලනය කිරීම සඳහා ලංකාවේ ගැසට් කල නීතියක් නොමැති අතර කැමති ආකාරයෙන් පරිසරය දූෂණය කොට සර්විස් එක දවසට ලිහිස්සි තෙල් (lubricant oil ) ටිකත් කොහේ හරි කාණුවකට හලා කිසිදු බියක් නොමැතිව සිටිය හැක. නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක් නොමැති බැවින් සර්විස් එකේදී ඉවතලන ෆිල්ටර් සහ අනෙකුත් කොටස්ද සාමාන්‍ය අපද්‍රව්‍ය සමග මීතොටුමුල්ල වැනි කසල රැඳවුම් ස්ථානයකට යන අතර ඒවගේ ඇති විෂ ද්‍රව්‍ය පරිසරයට වැසි ජලයත් සමග ක්‍රමයෙන් එකතු වී ආහාර මගින් අපගේත් අප දරුවන්ගේත් ශරීර තුලට ඇතුල් වනු ඇත. අර CFL බල්බ් විසි කරන්නේ අපි රසදිය කියන බැර ලෝහය සහිත - ඕක ඉතින් මොකද්ද නේ? මිනමටා හැදුනේ ජපන්නුන්ට නේ! ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියල හිතන් ඉමු!

පරිසරවේදියෝ මේවට කෑ ගහන්නේ නැති අතර ලංකාවේ නීතියේ හැටියට ඔබ වැරද්දක් කරන්නේද නැත! ජෙනරටර් එකේ තෙල් ටික කාණුවට හැලීම වරදක් වුවත් කවුරුත් පැමිණ ඔබව අත්අඩංගුවට ගන්නේ හෝ නඩු දමන්නේ නැත. ලංකා ඉතිහාසයේ කිසි දිනක එවැනි නඩුවක් අසාද නැත. ඒ නිසා බිය නොවන්න!

නමුත් බහුතරයකට නොපෙනී සිදුවන වන පරිසර හානියේ මිල ගෙවීමට අපටත් අනාගත පරම්පරාවටත් අනිවාර්යයෙන් සිදු වනු ඇත.

මේ අතර විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන මා හටද උගන්වා ඇති සහ මා බෙහෙවින් ගරු කරන මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජයපාල මහතා සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී ඇත (ප්‍රවෘත්ති  නිවේදනය). මේ තීරණය පිලිබඳ පැහැදිලි කිරීමක් සහිත ප්‍රවෘත්ති නිවේදනය.

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සිද්ධියෙන් පසු මෙසේ තවත් රටට වැඩක් ගත හැකිව තිබු වෘතීයවෙදියෙකු ප්‍රවීනයෙකු සහ මේ බලශක්ති අර්බුදය විසඳීමට තිබු එකම බලාපොරොත්තුවත් මෙසේ නැති වී ඇත. 

තත්වය තවත් ඉදිරියේදී භයානක වන බව 2017 අප්‍රේල් මස 23 වැනි දින විදුලි නිපදවීමේ ප්‍රතිශතය සහිත පහත ප්‍රස්ථාරයෙන් පැහැදිලි වනු ඇත (මෙම දිනය තෝරාගත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ විදුලි බල මණ්ඩලයේ ඇති නවතම වාර්තාව මෙය බැවිනි). ඛනිජ තෙල් වලින් විදුලිය නිපදවීම 49%කි

  
මූලාශ්‍රය - සුනිත්‍ය බලශක්ති අධිකාරිය 


මේ සියල්ල මෙසේ නොපෙනී සිදුවන අතර අපි මැයි දිනයේ වැඩිම හිස් ගොඩ රැස්වූ ස්ථානය සොයමින් බුකියේ කරක් ගසමු!

උත්කර්ෂවත් ලෙස මැයි දිනය සමරා කාන්තා ශ්‍රමය අපනයනය කොට ඛනිජ තෙල් ආනයනය කරමු!

Wednesday, April 26, 2017

ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( දෙවන කොටස)

මෙහි පළමු ලිපියෙන් බලශක්තිය සහ ශක්තිය වැනි මූලික සංකල්පද ලංකාවේ අප භාවිතා කරන ශක්ති ප්‍රභේදයන් සහ ඒවගේ ඉතිහාස ගත විකාශනය පිළිබඳව සාකච්ඡා කෙරුවෙමු. මෙම දෙවන කොටසින් මිනිසාගේ බලශක්ති භාවිතය පිළිබඳව ඇති ඉතිහාසය මදක් විමසා බලමු. මෙය මිනිසා සහ බලශක්තිය අතර ඇති සමීප සම්බන්ධතාවය මනාව තේරුම් ගැනීමට ඔබට උදව් වේවි. 


බලශක්ති භාවිතයේ ඉතිහාසය

අප කුමන ආකාරයක බලශක්තියක් භාවිතා කලත් එය පෘතුවියට ලැබී ඇත්තේ සූර්යාගෙනි (න්‍යෂ්ටික ශක්තිය හැර - එය පෘතුවිය ආරම්භයේදීම තිබුණා  යැයි සැලකේ). ඉතින් මිනිසා පරිනාමනයත් සමග සූර්යයාගේ ශක්තිය රැස්වී ඇති බලශක්ති මූලාශ්‍ර භාවිතා කරන ආකාර අලුතෙන් සොයා ගැනීමටත් පවතින ක්‍රමවේද වෙනස් කිරීමටත් යොමු වුණා.

මිනිසා ඉතා ඈත අතීතයේ සිටම ශක්ති ප්‍රභව වල වැදගත්කම හොඳින් තේරුම් ගෙන බලශක්ති භාවිතය සඳහා පුරුදු වී සිටියා. සූර්යාගෙන් ලැබෙන ශක්තිය නොයෙක් ආකාර වලින් උකහා ගැනීමටත් (සූර්ය ශක්තිය, සුලන් ශක්තිය, දැව වල තාප ශක්තිය), කාලයක් තිස්සේ නොයෙකුත් ආකාරයෙන් පෘතුවියේ ගබඩා වී ඇති මෙම සූර්ය ශක්තිය (උදා - පොසිල ඉන්ධන) පිලිබඳ ගවේෂණය කිරීමටත් එම ශක්ති ප්‍රභවයන් තම අභිමතය පරිදි හසුරුවා ගැනීමට තිබු උනන්දුව සහ කුතුහලයත් ඒ සඳහා එකිනෙකා අතර තිබු තරඟයත් මානව ශිෂ්ටාචාරයේ ගමන් මාර්ගය වෙනස් කල ආකාරයත් වෙනස් කරමින් පවතින ආකාරයත් පුදුම උපදවන සුළුයි.

මානව පරිණාමනයේ  මුල් අවධියේ සිටම තම ශරීරයට අවශ්‍ය දෛනික ශක්ති අවශ්‍යතාවය ආහාර මගින් ලබාගැනීමට පුරුදු වී සිටි මිනිසා ශාකමය ආහාර සොයා යෑමටත් සතුන් සොයාගොස් දඩයම් කිරීමටත් පුරුදු වී සිටියා.


(Picture courtesy  - http://www.mrstpierre.com)

මුලින් ආහාර (ශක්තිය) සොයා තැනින් තැනට යෑමට පුරුදු වී සිටියත් කල් යත්ම වගා කිරීමටත් සතුන් පාලනය පටන් ගැනීමත් ශක්තිය අතින් සුරක්ෂිතභාවයට පත් වීමට යොමු වීමේ වැදගත් පියවරක්. එසේම දැව ඉන්ධනයක් ලෙස භාවිත කොට ආහාර පිසීමටත්  ශරීරය උණුසුම්ව තබා ගැනීමටත් මිනිසා ක්‍රමයෙන් ඉගෙන ගත්තා .

(Picture courtesy  - http://www.mrstpierre.com)



තවත් කාලයක් යන විට මිනිසා සතුන් ද වහලුන් ලෙස අනික් මිනිසුන්ද ශක්ති ප්‍රභව ලෙස එදිනෙදා කටයුතු සඳහා භාවිතා කිරීමට පුරුදු වුණා. බලයෙන් බුද්ධියෙන් වැඩි මිනිසුන් අනෙක් මිනිසුන්ව ශක්ති ප්‍රභව ලෙස (වහලුන්) ලෙස භාවිතා කරන්නටත් වැඩි වැඩියෙන් ශක්ති ප්‍රභවයන් තමන් සතු කරගෙන තමාගේත් තම ගෝත්‍රයෙත් පැවැත්ම ආරක්ෂා කරගැනීමට මිනිසා එදා සිටම ප්‍රයත්න දරුවා.

වහල් ගොවියන් සහ ශ්‍රමිකයන් දැක්වෙන සිතුවමක් (http://atlantablackstar.com)

අද ලෝකයේ ඉන්ධන වෙළදාම මෙන් පුරාණ  ලෝකයේ එම අවශ්‍යතාවය සැපිරීමට වහලුන් සහ සත්ව වෙළදාම දියුණු යැයි සැලකුණු සෑම ශිෂ්ටාචාරයකම පාහේ තිබුණා. මිනිසුන් දියුණු ශිෂ්ටාචාර ලෙස පරිවර්තනය වීමට බලශක්තිය ලෙස ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ වහල් ශ්‍රමයෙන් ලබාගත් ශක්තියයි. වහල් ශ්‍රමය නීතිවිරෝධී කොට තවම සියවස් දෙකක්වත් ගත නොවුණත් මිනිසා වහල් ශ්‍රමයෙන් අවුරුදු දහස් ගණනක් තම කටයුතු කර ගත්තා.

අද දින ඔබ නිවසට ජලය කරාමයක් විවෘත කල විට ජලය ලැබෙන්නේ බලශක්තියේ (විදුලි) ආධාරයෙනි. අතීතයේ මේ සඳහා වහල් ශ්‍රමය ලබාගත් ආකාරය සංසන්දනය කිරීමෙන් ඔබට මෙම පරිණාමනය ගැන හොඳ වැටහීමක් ලබාගැනීමට හැකි වෙනවා ඇත.


මානව ඉතිහාසයේ අනෙක් මිනිසුන්ව වහලුන් ලෙස භාවිතා කිරීම නතර කිරීමත් සතුන්ව බලශක්ති අවශ්‍යතා සඳහා යොදාගැනීම සීමා වීමත් සමග ස්වභාවයේ ඇති ශක්ති ප්‍රභවයන් වැඩි වැඩියෙන් භාවිතා කිරීම ඇරඹුණා. ප්‍රාථමික බලශක්ති ප්‍රභවයන් ලෙස මිනිසුන් සහ සතුන් භාවිතා කිරීම නතර කිරීම හෝ සීමා කිරීම මිනිසා මනසින් දියුණුවීමත් කාර්මික වශයෙන් දියුණු වීමත්  සමග ඉක්මන් වුණා.

කාර්මික විප්ලවය සහ බලශක්තිය

1820 - 1840 දක්වා කාල පරිච්ඡේදයේ සිදුවූ කාර්මික විප්ලවය වෙන තෙක් මිනිසා ප්‍රධාන වශයෙන් භාවිතා කිරීමට පුරුදු වී සිටියේ ප්‍රභාසංස්ලේෂණය ආශ්‍රයෙන් සූර්ය ශක්තිය තම කාර්යයන් සඳහා උකහා ගැනීමටයි. කාර්මික විප්ලවයත් සමග මිනිසා පොසිල ඉන්ධන (මේවාත් කාලයක් තිස්සේ හිරුගේ ශක්තිය පෘතුවියේ ගබඩා වී ඇති ක්‍රමයකි) භාවිතයට යන්ත්‍ර සූත්‍ර මගින් යොමු වීම නිසා තමාට අවශ්‍ය බලශක්තිය තමාට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවේදී ලබාගැනීමට හැකි වුණා .
උ. දා . - දර සොයාගෙන වේලා ගෙන භාවිතා කිරීම වෙනුවට ඛනිජ තෙල් හෝ ගල් අඟුරු මගින් වැඩි ජවයක් කුඩා ඉන්ධන ප්‍රමාණයකින් නිසි පාලනයකින් ලබා ගැනීම.

ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන බ්‍රිතාන්‍යයේ ඒක පුද්ගල ශක්ති පරිභෝජනය වෙනස්වීම මෙයට කදිම උදාහරණයක්. 1700 වර්ෂ වලදී පටන් ගත් කාර්මික විප්ලවයට අදාළ ක්‍රියාදාමත් සමග කාර්මික විප්ලවයේ උච්ඡතම අවස්ථාවත් සමග එක් වරම ශක්ති පරිභෝජනයේ නැගීම ඉහත දැක්වූ කරුණ සනාථ කරන්නක්.

කාර්මික විප්ලවයත් සමගම පැමිණි ජේම්ස් වොට් විසින් සොයාගත් කාර්යක්ෂමතාවෙන් වැඩි හුමාල යන්ත්‍රය (steam engine ) මෙම කාර්මික විප්ලවයත් සමග පැමිණි බලශක්ති විප්ලවය ත්වරණයකට ලක් කරා. වැඩි ජවයකින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කිරීමටත් ගොඩබිමේත් මුහුදේත් ප්‍රවාහනය ඉක්මනින් හා කාර්යක්ෂමව කරගැනීමට මෙය පිටුවහලක් වුන.

අතීතයේ යුද්ධ කරමින් වහලුන් වැඩි කරගත් බලවත් ජාතීන් මෙයට පසු යුද්ධ කරමින් ඛනිජ තෙල් නිධි වල අධිකාරිත්වය සහ පාලනය ලබාගැනීමට උත්සාහ කිරීම ලෝක ඉතිහාසය නවතම මාවතකට ගෙන ගියා. සෑම රාජ්‍යයක්ම බලශක්තිය අතින් සුරක්ෂිත වීමටත් නව බලශක්ති භාවිතා කරන ආකාර සොයා යෑමේත් වැදගත්කම අවබෝධ කරගෙන ඒ සඳහා නොනිමි ප්‍රයත්නයක් යොදනවා.

වහල්භාවය අවසන් වුවත්

ලෝකය මෙතරම් දියුණු වුවත් මිනිසා සහ සතුන් ශක්ති ප්‍රභවයන් ලෙස යොදාගැනීම සම්පූර්ණයෙන් අවසන් වී නැහැ.

ඉන්දියාවේ ඇදගෙන යන රික්ශෝවක් (courtesy of  http://www.karmaindia.com)



Wednesday, April 12, 2017

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීමට ඔබේත් මගේත් සත 5 දමමු

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීම සඳහා පුරවැසියන්ගේ යෝජනා කැඳවා ඇත. 



ඔබ කවුරුන් හෝ යෝජනා දීමට අදහස් කරන්නේ නම් මමත් ඔබ සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්තෙමි. එය මෙම සිංහල බ්ලොග් අවකාශයේ කිරීම ඉතාමත් කාලෝචිත යැයි සිතමි.

එබැවින් ඔබගේ යෝජනා මෙහි කොමෙන්ටු වශයෙන් සඳහන් කොට සංවාදයක් ගොඩ නැගීමට බලාපොරොත්තු වෙමි. මෙහි අවසන් දිනය අප්‍රේල් 30 බැවින් 25 වනදා වන විට එය අවසන් කොට සාරාංශයක් යැවීමට කටයුතු කිරීම මාගේ බලාපොරොත්තුවයි.


තවද අගෝස්තු 18 වැනි දින මේ සම්බන්ධයෙන්  පැවැත්වෙන ඉංජිනේරු ආයතනයේ සාකච්චාවට ඒ වන විට එකතු වෙන අදහස්ද යැවීමට සිතාගෙන සිටිමි.






Thursday, April 6, 2017

නිවැරදිව CFL බල්බ් එකක් තෝරාගමු හරියට භාවිතා කරමු - Sustainability Begins @ Home



සමහරු මේ පිලිබඳ දැන සිටියත් නොදන්නා අයගේ දැනුමට මේක ලියන්නේ🙋. 

CFL  බල්බයක් මිලදී ගැනීමට කඩයකට ගිය විට සාමාන්‍යයෙන් එක් එක් නිෂ්පාදකයාගේ වෙනස් වෙනස් නිෂ්පාදන වෙනස් මිල ගණන්වලට  ඇති බව අප කවුරුත් දන්නා දෙයක්. ඉතින් මේවා තියෙන රාක්කෙ දිහා බලාගෙන කල්පනා කරන අය ඕනේ තරම්!

ඉතින්  CFL බල්බයක් තෝරාගැනීමට සැරසෙද්දී අපේ සිතට නැගෙන ප්‍රශ්නය වන්නේ ගෙවන මුදලට වටිනා (තිබෙන තෝරා ගැනීම් අතරින්) හොඳම තෝරා ගැනීම සිදු කරන්නේ කෙසේද යන්නයි.




මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙය ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය පහත දිගුවෙන් පිවිසි ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.

Sustainability සිංහලෙන් 2 – CFL





මේ ලිපිය කියවා ඔබත් වගකීමකින් CFL බල්බයක් භාවිතා කොට (අඩු විදුලියක් භාවිතා කොට පරිසරයට සහ රටට ඔබේ ඇති යුතුකම ඉටුකොට) නිවැරදිව එය භාවිතයෙන් ඉවත් කරනු (පරිසරයට විනාශයක් නොකර) ඇතැයි සිතනවා!


Wednesday, March 29, 2017

ශ්‍රී ලාංකීය විදියට පරිසර හිතකාමී වෙමු බෝඩ් එකෙන්

මාස 7කට කලින් ලියපු කථාව - මුහුණු පොතේ ලින්කුව

බ්ලොග් පොස්ට් එකක් නැහැ එකට මොකෝ ඒ කාලේ බ්ලොග් එකක් ලියන්ඩ හිතල තිබ්බෙත් නැහැ.... කලාහිත නම් දැම්ම මේක මගෙන් ඉල්ලගෙන එයාගේ බ්ලොග් එකේ - Coal War කියල ලිපියක්... .... හැබැයි ඉතින් මම ඉස් ඉස්සෙල්ලම මේ සිංහල බ්ලොග් ලෝකේ රහ බැලුවේ ඒ සාකච්චාවට සම්බන්ධ වෙලා... එකට මගේ හිතේ කලාහිතට ඇති ගෞරවේ නැති වෙන්නේ නැහැ....







ඒ කියපු "ස්වභාවික වායු බලාගාරය LNG " බෝඩ් එක තියෙන "ඩීසල් බලගාරේ" හදන්ඩ දාපු ටෙන්ඩර් පත්‍රිකාව  
මේකේ අවසන් දිනය දිගු කරලා තියෙන හින්ද තව සැහෙන තරඟකාරයෝ ටිකක් එයි මේක හදල පරිසරේ සංරක්ශනේ කරන්ඩ ...


මේ සැරේ නම් රු. 45.75 ටත් යුනිට් එකක් දෙන්නේ නැති වෙයි.... ප්‍රාග්ධන වියදම් වැඩි වෙලා රුපියල අව ප්‍රමාණ වෙලානේ  තියෙන්නේ - ආහ් එහෙමද?





මත්තල ගුවන්තොටුපල විකුණලා ඒ වගේ හතර ගුණයක් අවුරුද්දකට පාඩු කරගමු මේ අලුත් බලාගරේ දුවලා .... හරියට නිවැරදිව පෝෂණයක් ලැබෙන ආහාර වේලක් දිනපතා කෑමට නැති, ළමයාගේ මූලික අධ්‍යාපන අවශ්‍යතා සපුරගන්ඩ බැරි, දෛනික අවශ්‍යතා වලට මුදල් හොයන්ඩ මැද පෙරදිග ගෘහ සේවයට ගෙදර ඉන්න අම්මා , බිරිඳ නැත්තන් සහෝදරියව යවන, ගේ ඇතුලේ දුම් ගොඩක් ගහගෙන උයල මදුරු කොයිල් පත්තු කරන් ඉන්න, එළවලු වලට වැඩිය කෘෂි රසායන තියෙන එළවලු කන මිනිස්සුන්ට අපි සස්ටෙනබ්ලේ නමක් තියෙන විදුලිය බලාගරෙකින් විදුලිය හදල ඔවුන්ව පරිසර දූෂනෙන් මැරෙන එකෙන් බේරාගමු.... අර රට ගියපු  මිනිස්සු එවන විදේශ විනිමයෙන් ඩිසල් ගමු මේවා දුවන්ඩ .....ඒ අතරේ LNG ගැන ගුණ වයල පත්තරේ ලොකු ලිපියක් (සුද්ද කියපු ඒවගෙන් නැතුව අපි මොකුත් පර්යේෂණ කරලා නෙවෙයි) ලියල ටීවී එකේ පැය දෙකක වගේ ප්‍රභාශ්වර පුනර්ජනනීය ටෝක් එකකුයි දෙමු ..ඒවා අහල පරිසර සංරක්ෂනේ ගැනයි විජාතික බලවේග වලින් රට බේරගන්න නායකයෝන්ගේ කථා ටිකයි (ලක්ෂ 400 වාහන එපැයි ඕවා කරන්ඩ - එකොනොමට්ටගේ ලිපිය)  මෙගා ටෙලි ටිකයි බලල මිනිස්සු දරු පවුලත් එක්කම  සැනසිල්ලේ  නිදා ගනියි ගේ ඇතුලේ තියෙන දූෂිත වාතය ආශ්වාස කරමින් ... අපි වගේ පරිසර හිතකාමී ජාතියක් මේ තුන් ලෝකෙම නැතුව ඇති!




මේවට තමා කියන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා කියල....

පීලින්ග් සස්ටෙනබ්ල් විත් ශ්‍රී ලන්කන් එන්විරෝන්මෙන්ටලිස්ට්ස් ඇන්ඩ් සිරි ලංකාවාසීන් 

නදීර විජේසිංහ 

Monday, March 27, 2017

මගෙන් මේ දවස්වල අහන ප්‍රශ්න වල සාරාංශයක්



මම විනෝදෙට කරපු දේ (විනෝදාංශේට) ලැබෙන පාඨක සහ මිතුරුමිතුරියන්ගේ ප්‍රතිචාර වැඩි වී ඇත - නෙලුම් යාය බ්ලොග් සම්මානය ලැබීමෙන් පසු. එම නිසා ඒවා සාරාංශ කොට මෙසේ පල කරමි.

- ඕව ලියන්ඩ වෙලාව කොහෙන්ද?

- කන්තෝරුවේ වැඩ අඩුද?

- ඔය කරුණු/දත්ත ඔක්කොම හොයා ගත්තේ කොහෙන්ද? කියවන්න වෙලාව තිබ්බද?

- අහවල් මාතෘකාව ගැනත් එකක් ලියන්න බැරිද?

- බ්ලොග් එකෙනුයි ෆසේබූක් එකෙනුයි රට හදන්ඩ ද යන්නේ?

- ඔය බ්ලොග් ලියන එක ඔයාගේ තත්වෙට ගැලපෙන්නේ නැහැ නේද?

- අන්තිමේට ඕකෙන් මිනිස්සු තරහ වෙයි නේද?

- ආයේ ආණ්ඩුවේ නම් රස්සාවක් කරලා ඉවරයි 

- ඔයා පුනර්ජනනීය බලශක්තියට විරුද්ධද?

- සරලව ලියල තියෙනවා අපිටත් තේරෙන්න 

-ඕවා ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කොහොම කිව්වත් 

- අපි දැනන් හිටියේ නැහැ නේ ඕක ඔච්චර ගණන් කියල... ආණ්ඩුවේ වාර්තා හරි ඇති නේ? 

- ඔය ලියන එකට සල්ලි හම්බ වෙනවද (ඩොලර් කුට්ටි)?

- ඕව ලියන වෙලාවේ තමුන්ගේ දියුණුවට වැඩක් කරගත්ත නම් හොඳයි නේද?

- අපි නොදකින පැත්තක් කථා කරලා තියෙනවා

- මොකද බන් උඹට වුණේ? 

- උඹ මොකෝ එක පාරම මේ ලියන්ඩ ගත්තේ?

- සිංහලෙන් වැඩිපුර ලියපන්

- තව ඉංග්‍රීසි ඒවා ටිකක් ලිව්වා නම් හොඳයි නේද?

- යකෝ අපේ පරිසරේට තියෙන ආදරේ මුං බිසිනස් එකක් කරන් නේ... උඹ කියනකන් පෙනුනේ නැහැ නේ 

- උඹ ලියන ඒවා ශෙයා කරන ලයික් කරන ෆෝවඩ් කරන එවුන් ඕව කියවනවා කියලද හිතන් ඉන්නේ? 

- ඕකෙන් සල්ලි හොයන විදියක් හිතල බලපන් 

- ආපහු ලංකාවට අවොත් ලියන්නේ නැති වෙයි නේද?

- දිගටම ලියපන් කම්මැලි නොවී 

- ඔය කතා කරන දේවල් දේශපාලනිකයි නේද?

- ටිකක් පරෙස්සම් වෙලා ඉන්ඩ කෝකටත්

මේවගෙන් සමහර ඒවාට උත්තර මා ගාවත් නොමැති බව කරුණාවෙන් සලකන්න!

තවත් ප්‍රතිචාර ඇති නම් මා වෙත ලබාදීමට කාරුණික වන්න!

Wednesday, March 22, 2017

දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ

"ගොයම් නැටුමකට දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ "




අද උදේ මේ සින්දුව ඇහෙද්දී මට මතක් වුනේ අපේ බලශක්තිය ගැන හැමෝටම උපදෙස් දෙන පරිසරවේදියෝ ටික..... බලශක්ති ඔස්තාද් වගේ කෑ ගැහුවට ජෙනරේටර් එකක් දුවන හැටි දන්නේ නැහැ.... හැබැයි ටීවී එකේ පත්තරේ හොඳට රඟ දක්වනවා....
ඊට පස්සේ ටික 
"කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරුවෝ"
මේකෙන් මේ කියන්නේ හැමදාම පුනර්ජනනීය කතා ටිකක් ටීවී එකෙයි පත්තරෙයි දාල පස්සේ ඩිසල් විදුලි බලාගාර පස්සේ දුවල ඩිසල් වලින් විදුලිය හදන එක ගැන..... ටැප් එකෙන් වතුර බිව්වට... ලිඳට ආවඩල පෙන්නන්නේ කලගෙඩි නැටුම්....

"දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි....
හේනට කුඹුරට ගත සවි දියකර කරළිය අබියස බලා සිටි"
මේ ඉතින් අර බලශක්තිය පිලිබඳ මනා දැනුමක් ඇති නමුත් ඔවුන්ගේ බසට රටේ නායකයෝ කන් දෙන්නේ නැති විෂය පිලිබඳ ප්‍රවීණයෝ.... මේ ගොල්ලෝ අර නැටුම බලාගෙන ඉන්නවා.....


"තිරය ඇරෙනවා තිරය වැහෙනවා...." - මේ ඉතින් අර ෂෝ එක කාලෙන් කාලෙට කරනවා... ඩිසල් වලින් විදුලිය හදන කාලෙට කට වහන් ඉන්නවා... ගල් අඟුරු සැලසුමක් අවොත් ආපහු පුනර්ජනනීය නැටුම පටන් ගන්නවා ......
"ඔල්වරසන් හඬ පැතිරෙනවා" - මේ අර ගල් අඟුරු සැලසුම කඩා ඉහිරවලා දෙන පොර ටෝක් ටිකයි එකට ඔල්වරසන් දෙන අපේ හුදී ජනයෝ ටිකයි....


ගීත විචාරයක් නම් මීට කලින් කරලා නැහැ... හැබැයි අද උදේ කෑම කනකන් මේ සින්දුව අහන් ඉන්දැද්දී හිතුනේ මෙහෙම තමා
"සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා...."

මානවිකාවන්ගේ ඉඟ සුඟ දිහා බලන් ඉමු අපි ඉතින්!

පීලින්ග් පරිසර හිතකාමී විත් සිරි ලන්කන් එන්වෛරෝන්මෙන්ටලිස්ට්ස් ..........
-නදීර

Thursday, March 16, 2017

ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( පළමු කොටස)




මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙය ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය පහත දිගුවෙන් පිවිසි ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.


ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සරලව (පළමු කොටස)




Wednesday, March 15, 2017

මිථ්‍යාව සමාජ ගත කරන රාජ්‍ය උපදේශකගේ කථා වස්තුව

මාර්තු මස 15 වැනි දින දිවයින පුවත්පතේ පලවූ “ගල් අඟුරු බලාගාර මිත්‍යාව” නමැති ලිපියට පිළිතුරු ලිපියකි






මම ඊයේ දාපු බ්ලොග් පොස්ට් එකට කලාහිත බ්ලොග් එක ලියන කල්‍යාණ මිත්‍ර අහල තිබ්බ ඉහත කාරණේ ගැන..... මම ඊයෙම මේකට පිළිතුරු ලිපියක් ලියමින් හිටියේ! ඉතින් ඔබ සැමගේ වින්දනයට/දැණුමට සහ කමියගේ කොමෙන්ටුවටත් ප්‍රතිචාරයක් විදියට  පිළිතුරු ලිපිය අදම පල කරනවා!

මෙහි සඳහන් සියලුම කරුණු වලට හා සංඛ්‍යා ලේඛන වලට අදාළ මූලාශ්‍ර හය්පර්ලින්ක් කොට ඇත.

පළමුවෙන් පැවසිය යුත්තේ එම ලිපියේ ලියුම්කරු පවසන පරිදි ගල් අඟුරු භාවිතයෙන් තොරව එම ජාතික බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ප්‍රයෝගිකව සපුරා ගැනීමට හැකි නම් එය ඉතාමත් අගය කල යුතු ක්‍රියාවක් බවය. පැසසිය යුතු සහ සියල්ලන්ගේම ආශීර්වාදය සහයෝගය ලැබිය යුතු ක්‍රියාවක් බවය.

කලින් බ්ලොග් එකේ දාපු ලිපියකින් මම සරලව විස්තර කරා නොපෙනෙන විදුලියේ ටිකක් සංකීර්ණ කතාවක් සරලව - අපට රටක් වශයෙන් පුනර්ජනනීය විදුලියෙන් පමණක් යැපීමට ඇති ප්‍රයෝගික නොහැකියාව - "මොකටද බොලව් ගල් අඟුරු බලාගාර? දන්නේ නැද්ද සූර්ය, සුලන් බලාගාර ගැන?? "

ඉහත සඳහන් ලිපියේ ලියුම්කරු විසින් ඉතා මනරම් පුනර්ජනනීය ෆැන්ටසියක් මවා පැවද සැබවින්ම තිරය පිටුපස සිදුවන්නේ කුමක්ද යන්න විමසා බලමු.

යෝජිත සාම්පුර් ගල් අඟුරු බලාගාරයට විරුද්ධව උද්ගෝෂණය කල සහ එයට විරුද්ධව ක්‍රියා කල පරිසර සංවිධාන හා වෙනත් සංවිධාන (ඩිසල් විදුලි බලාගාර වලින් මුදල් ඉපැයීමට සිතාගෙන මෙම විරෝධතා ව්‍යාපාර වලට සම්බන්ධ වූ පිරිස හැරෙන්නට) බලාපොරොත්තු වුයේ එම ව්‍යාපෘතිය නතර කොට එම විදුලි ජනන ධාරිතාව පුනර්ජනනීය විදුලියෙන් පිරිමසා ගනු ඇති බවයි. නමුත් යතාර්ථය වුයේ අනෙකකි - එනම් 2016 සැප්තැම්බර් 14 වැනි දින (සාම්පුර් ව්‍යාපෘතිය නතර කරන බවට නීතිපතිවරයා උසාවියට දැන්වූ දිනට පසු දිනම) රජය විසින් මෙගාවොට් 300ක ස්වභාවික වායු බලාගාරයකට (natural gas ) ටෙන්ඩර් කැඳවීමයි. මේ දෙස මතුපිටින් බලන්නෙකුට මෙය ඉතාමත් කාලෝචිත සහ පරිසර හිතකාමී පියවරක් ලෙස පෙනෙනු ඇත. නමුත් අප සිහි තබා ගත යුත්තේ මෙම ස්වභාවික වායු බලාගාරය අඩුම වශයෙන් ඉදිරි වසර 5 - 10 කාලය තුල ක්‍රියාත්මක වන්නේ ඩිසල්  බලාගාරයක් (දැවි තෙල්) ලෙසය. මෙසේ ස්වභාවික වායු බලාගාරයක් ලෙස සාදා ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන ආකාරයේ ප්‍රථම බලාගාරය මෙය නොවේ. පසු ගිය අවුරුදු 9 පුරාවට ක්‍රියාත්මක වන කෙරවලපිටිය බලාගාරය මෙවැනි බලාගාරයකි - එනම් ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන ස්වභාවික වායු බලාගාරයකි.

මෙවැනි බලාගාරයකින් විදුලිය සැදීමෙන් අප ආර්ථිකයට සිදුවන්නේ සුළු පටු පාඩුවක් නොවේ.

විදුලි ඒකකයක් සඳහා පිරිවැය
කෙරවලපිටිය බලාගාරය (ඛනිජ තෙල් භාවිතයෙන් ක්‍රියාත්මක වන ස්වභාවික වායු බලාගාරය)
රු . 45.75
නොරොච්චෝලේ බලාගාරය (ගල් අඟුරු)
රු.. 7.63
විදුලි උත්පාදනයට වියදම් වන මුදල - මූලාශ්‍රය මහජන උපයෝගීතා කොමිසම 2015 වාර්තාව (Source - 2015 PUCSL Generation Report)

යෝජිත මෙවැනි ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන බලාගාරයකින් මෙගාවොට් 500 ක ධාරිතාවක් සපුරා ගැනීමට ගල් අඟුරු වලට සාපේක්ෂව වර්ෂයකට  රුපියල්  බිලියන 133 අතිරේක මුදලක් වැය කිරීමට සිදු වේ. කණගාටුවට කරුණ වන්නේ මෙම රුපියල් බිලියන 133 වැය කරනුයේ නව කර්මාන්තශාලා ඉදිකොට නව රැකියා ලබාදීමටවත්, නව විදුලි බලාගාර සදීමටවත් නොව පෞද්ගලික සමාගම් කිහිපයකට ඩිසල් මගින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය උත්පාදනය කිරීමට මුදල් ගෙවීමටය.

සැලසුම් කර තිබු එකම ගල් අඟුරු බලාගාරය අවලංගු කරන විට අපගේ දේශපාලන  නායකයන්  ජනතාව ඉදිරියේ (ජාතික ප්‍රතිපත්තියකින් තොරව ) නොයෙකුත් පුනර්ජනනීය කතා මවා පැවද සැබෑවටම තිරය පිටුපස සිදුවන්නේ මෙයයි. මෙම අතිරේක රුපියල් බිලියන 133 වාර්ෂික ඩිසල් බලාගාර සඳහා ගෙවීම යනු සැම අවුරුද්දකම මත්තල ගුවන්තොටුපල වැනි ගුවන්තොටුපළවල් හතරක් සැදීමට ප්‍රමාණවත් මුදලකි.

මෙසේ ඩිසල් විදුලි බලාගාර සෑදු විට අප පරිසරවේදීන් කිසිවෙකුත් ඊට විරුද්ධව හඬක් නගන්නේ නැත. නමුත් මෙසේ සාදන කුඩා පරිමාණ ඩීසල් බලාගාර වලින් පරිසරයට සිදුවෙන හානිය ඒ හා සමාන ධාරිතාවක් ජනනය කිරීමට සමත් මහා පරිමාණ ගල් අඟුරු බලාගාරයකට වඩා වැඩිය. නමුත් අප පරිසරවේදීන් මේවා ගැන අවදියෙන් සිටින්නේ නැති අතර "ස්වභාවික වායු බලාගාරය" කියල බෝඩ් එකක් දාල ඩිසල් බලාගාර හදපුවහම ඒක දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ....

කිසිදු සැලසුමකින් තොරව මෙසේ අවුරුදු ගණනක් ජාතික ධනය සහ විෂය පිලිබඳ ප්‍රවීනයයන්ගේ කාලය යොදවමින් සකස් කල ව්‍යාපෘතිය අවසන් අදියරේ අවලංගු කොට එම තීරණයෙන් මාස හතරකට පසු විෂය භාර ඇමතිතුමා මාධ්‍ය නිවේදනයකින් පැවසුවේ මීළඟ මාස 6 තුල වර්ෂාව නොලැබී ගියහොත් විදුලි කප්පාදුවක් සිදුවීම වැලක්වීමට මහා බණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවය. මෙම මුදල යනු අප රටේ ගෘහ සේවිකාවන් ලක්ෂ දෙකක් මැද පෙරදිග මාස 6 සේවය කොට උපයන මුදලට සමාන මුදලකි.


මෙහෙම චිත්‍රයක් මවා පාලා සැලසුම් කරපු ව්‍යාපෘති අවලංගු කරපු වෙලාවේ මීට හොඳයි වැස්ස වහැපියෝ කියල කොළ අතු ඇඳන් ගෝත්‍රික නැටුමක්  නැටුවා නම් !

මෙවැනි විනාශයක් අප ආර්ථිකයට සිදු කරගත්තේ ඛනිජ තෙල් වලින් විදුලිය සැදීමට නොව පුනර්ජනනීය බලශක්ති වලින් විදුලිය සැදීමට බව බොහෝ දෙනෙකුට අමතකය. “ගල් අඟුරු බලාගාර මිත්යාව “ නමැති ලිපියේ ලියුම්කරු  නොපවසන බොහෝ දෙනෙකුට නොපෙනෙන යථාර්තය මෙයයි.

අනික් එක ඉතින් සාමාන්‍යපෙළ අසමත් මන්ත්‍රීවරු 94 ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු මේ වගේ උපදේශකවරුන්ගෙන් උපදෙස් ගන්න එක පුදුමෙකුත් නෙවෙයි.

ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම


මේ සම්බන්ධයෙන් වෙනම බ්ලොග් පොස්ට් එකක් අප බ්ලොග් එකේ ලියා ඇත.


සංවර්ධිත රටවල් වල ගල් අඟුරු යථාර්තය

සංවර්ධිත රටවල් ගල් අඟුරු වලින් ඉවත් වෙන බවත් ඒවා නොසාදන බවත් යථෝක්ත ලිපියේ ලියුම්කරු සඳහන් කොට ඇති බැවින් පහත නිදසුන සමග මෙම ලිපිය අවසන් කරමි.

අප පුනර්ජනනීය බලශක්තිය සඳහා උදාහරණයක් ලෙස යොදා ගන්න ජර්මනිය තවමත් එරටේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 44% නිෂ්පාදනය කරනුයේ ගල් අඟුරු භාවිතයෙනි.

moorburg_02.jpg

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජර්මනියේ ඇති නවතම මෙගාවොට් 1500 ක (සාම්පුර් යෝජිත බලාගාරය මෙන් තුන්ගුණයක් විශාල) ගල් අඟුරු බලාගාරයකි - මූර්බුග් බලාගාරය . මෙය ඉතා ඈත අතීතයේ ඉදි කල බලාගාරයක් නොවේ. මෙම බලාගාරය විවෘත කරන ලද්දේ 2015 වර්ෂයේදීය. තවත් වැදගත් කරුණ වන්නේ මෙම බලාගාරය පිහිටා ඇත්තේ යුරෝපයේ හරිත අග නගරය ලෙස පිදුම් ලැබූ හැම්බර්ග් නගරයේය! එම බලාගාරය පිහිටා ඇති ප්‍රදේශයේ සශ්‍රිකත්වයත් ජර්මනිය රටක් ලෙස ලබාගෙන ඇති සෞභාග්‍යත්වයත් දෙස බුද්ධිමත් පාඨක ඔබට විස්තර කිරීම අනවශ්‍යයයි සිතමි.

එහෙත් ශ්‍රී ලංකික අපි? සිතීම ඔබට භාරය!



ප. ලි - තව එකක් මම පහුගිය කාලේ (ඒ කියන්නේ මේ එක එක ඒවා ලියන්ඩ ගත්ත කාලේ ) තේරුම් ගත්ත දෙයක් තමා සිංහල පත්තර වල කතුවරු නිවැරදි මූලාශ්‍රයක් පදනම් කරගෙන තාර්කිකව යමක් කියද්දී එක පත්තරේ පල කරන්ඩ මැලි වෙනවා... ලංකාවේම ඉංග්‍රීසි පත්තරවල මේ ට්‍රෙන්ඩ් එක අඩුයි... නැත්තේම නැහැ නෙවෙයි... සාපේක්ෂව අඩුයි... පත්තරේ ඉතින් ලියන්නේ ඉල්ලුමට සැපයුමක් දෙන්ඩ නේ.. මගෙන් සමහර කතෘල කෙලින්ම අහල තියෙනවා ඔය සාම්පුර් හොඳයි කියන්නේ නැතුව බලශක්ති අර්බුදේ ගැන ලිපියක් ලියල දෙන්ඩ බැරිද කියල .. එකම රටේ වුණාට මේ භාෂා දෙකකට ඉන්නේ පාඨකයෝ දෙගොල්ලක්ද මන්ද ... හැබැයි ඉතින් මම නම් වැඩියෙන් කැමති සිංහලෙන් ලියන්න... ඒක හින්ද එහෙම ලියන ඒවා fb එකෙයි බ්ලොග් එකෙයි දානවා....