Tuesday, December 20, 2016

නොපෙණෙන විදුලියේ නොපෙනුණු කතාවක්



මා විසින් මුහුණ පෑ  සත්‍ය සිදුවීමකි!


දිනය - 2013 අප්‍රේල් මාසයේ දිනයක්  
ස්ථානය - වත්තහේන කණිටු විදුහල


මම - ඉස්කෝලෙට විදුලිය ලැබීම නිසා සිදු වූ ලොකුම හොඳ මොකද්ද?


විදුහල්පති - අපි මේ ඉස්කෝලෙට කරන්ට් එක ආවහම … ඉස්සෙල්ලම කරේ සල්ලි ටිකක් හොයාගෙන වතුර පොම්පයක් අරන් … වතුර ටැංකියක් හයි කරලා ටොයිලට් එකට වතුර දුන්නා


මම - හ්ම්ම්ම් (මම හිත ඇතුලෙන්  “ඕකේ  ඉතින් මොකද්ද මහා හොඳේ ???”)


විදුහල්පති - එකෙන් කර ගත්ත ලොකුම දේ තමා අපි ළමයින්ට හරි විදියට වැසිකිලි යන හැටි කියල දුන්නා …. එතකන් එක ළමයෙක්වත් හරි හැටි වැසිකිළියට  යන හැටි දැනන්  හිටියේ නැහැ…..


මම වටපිට බැලුවෙමි…. මේ ඇත්තටම ලංකාවේ ඉස්කෝලයක්ද ? මම මගෙන්ම අසා ගත්තෙමි….


ඉස්කෝලෙට කරන්ට් දෙනකන් එක ළමයෙක්වත් වැසිකිළි යන්ඩ  දන්නේ නැහැ??? එහෙමත් වෙන්ඩ  පුලුවන්ද? මම ආවේ ප්‍රින්සිපල් ගෙන් ළමයි computer ටිකක් අරන් දාපු වැඩ කෑලි ගැන communication වැඩි වෙච්ච හැටි  අහගන්ඩ නේ….. හොයා ගත්තේ වෙනම දෙයක්…..ඉස්කෝලටම නැහැ computer එකක්…. තියෙන්නේ වතුර පොම්පෙයි බුල්බ් ටිකකුයි විතරයි ඉස්කොලෙටම…..


මාගේ පශ්චාත් උපාධියේ පර්යේෂණයට අදාළ ක්‍ෂේත්‍ර පර්යේෂණයේදී වත්තහේන කණිටු විදුහලේ විදුහල්පතිතුමා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ කොටසකින් උපුටා ගත්තෙමි. මෙය ඉතා දුර බැහැර පාසලක් නොවේ…. ගාල්ල නගරයේ සිට පැයකට අඩු කාලයකින් ලඟා විය හැකි තැනකි. මෙම ගමට ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා දී ඇත්තේ 2010 වසරේදීය.


මිනිසුන් පරිසර දූෂණය නිසා මිය යන බව කියන ලිපියක් කියවන විටදී මට ඉහත සිද්ධිය ඊයේ මතක් වුණි …. මෙම ගමේ බිලිඳුන් කී දෙනෙක් හරි හැටි සනීපාරක්ෂක පහසුකම් නැතුව මිය යන්නට ඇත්ද? රෝගී වන්නට ඇත්ද? ලෙඩක් හැදුනහම ගමට තියෙන පාරේ යන්ඩ පුළුවන් ත්‍රීවීල් එකකට විතරයි… එකත් වහින දවසට බැහැ …..


මෙම පර්යේෂණය සඳහා ගමේ නිවාස 80 ක දත්ත රැස්  කලෙමි… තවමත් එම ගමේ ගෙවල් වලින් 90% භාවිත කරන්නේ ගල් 3 ලිපයි . මෙය 8% ක කාර්යක්ෂමකතාවකින් යුක්තය… මෙහි සිදුවන අර්ධ දහනයෙන් නිකුත් වන වායු නිසා විවිධ රෝග වලට ලක්වන්නේ ප්‍රධාන වශයෙන්ම කාන්තාවන්ය… අප හොඳින්ම දන්නා කරුණක් වන්නේ කුඩා ළමුන් මව ආහාර පිසින තෙක් මවත් සමග මුළුතැන්ගෙයි සිටින අතර… කුඩා බිලිඳෙක් නම් මව ඔහු හෝ ඇයව වඩාගෙන කෑම පිළියෙළ කිරීම සුලභ සිද්ධියකි… මව ගැබිනියක් නම් නූපන් බිලින්දාට මෙලොව එලිය  පෙරම මෙම අහිතකර තත්ත්වයට මුහුණ දීමට සිදුවේ.





ඔබ අන්තර් ජාලයේ සොයා බැලුවහොත් මේ සම්බන්ධයෙන් ලංකාවේ කර ඇති පරීක්ෂණ ඉතාම සීමිතය… ඉතාමත් කණගාටුවට කරුණ වන්නේ 70% ශ්‍රී ලාංකිකයින් දර ලිප් වල ආහාර පිසීමේ කටයුතු කලද මේ සම්බන්ධයෙන් ඇති අවබෝධය ඉතාම අල්ප වීමය. සර්වෝදය ලිප මෙම නිවෙස්වලට හඳුන්වා දුනහොත් මෙම වායු දූෂණය හරි අඩකින් අඩු කර හැකිය. නමුත් ලංකාවේ නිවෙස් වලින් නොගිණිය හැකි තරම් ප්‍රමාණයකි මෙම කාර්යක්ෂම දර උදුන් භාවිතා කරනුයේ.


නමුත් අපි මෙවැනි ආකාරයේ පරිසර දූෂණ ගැන වැඩිපුර කතා කරන්නෙත් නැහැ අධ්‍යයනයක් කරන්නෙත් නැහැ..… දරලිපවල් ගැන අධ්‍යයනය කරන එක ටිකක් තත්වෙටත් මදි නේ!


පුළුවන් හැම වෙලාවේම  ගල් අඟුරු බලාගාරයක් සැදීම ලංකාවේ විශාලම පරිසර දූෂණය ලෙස පිටු ගණන් පත්තර වල ලිපි ලියමු…තාක්ෂණයෙන් ඉහල පරිසර දූෂණය අඩුකරලා (clean coal technology ) වගේ ඒවා කතා කරන එක හොඳම නැහැ….. මොකද එහෙම කතා කරොත් පරිසරවේදියා  කියල තමුන්ට කියගන්ඩ බැරි වෙනවා…..


70% ලංකාවේ ගෙවල් වල භවිත  කරන අකාර්යක්ෂම දර උදුන් වලින් යම් ප්‍රතිශතයක් කාර්යක්ෂම උදුන් වලට පරිවර්තනය කොට ඊට වැඩිය ලොකු පරිසර දූෂණයක් වලක්වා ගතහැකි ද කියලා හොයන්ඩ කාටවත් ඕනේ නැහැ….  මොකද? ගල් අඟුරු වලින් වෙන පරිසර දූෂණේ  ගැන internet  එකෙන් හොයල පිටු ගණන් ලියන එක හරිම ලෙසයි නේ…. ඒකම  කර කර ඉමු!


ගම් වල මිනිස්සු ගෙවල් ඇතුලෙම වායු දූෂණය කරගෙන ලෙඩ හදාගෙන මැරිලා යද්දී…. හරියට වැසිකිලියක් භාවිතා  කරන්ඩ දන්නේ නැතුව ලෙඩ හදාගද්දී…අපි දිගටම එහෙමම කර කර ඉමු!


අර මම කලින් කියපු ගමේ ඉස්කෝලේ මාසෙකට පාවිච්චි කරන්නේ විදුලි යුනිට් 10 ට අඩු ගානක්…. ගොඩක් ගෙවල් වල මාසෙටම භාවිතා  කරන්නේ යුනිට් 30 කට අඩුවෙන්… මේ මිනිස්සු ලයිට් එකක් දෙකක් දානවා… වැඩිම කරන්නේ TV එක බලනවා…. Washing machine , microwave , fridge මේ මිනිස්සු ගොඩක් අය දැකලත් නැහැ…. ඒවා ගත්තත් ඉතින් ලයිට් බිල ගෙවන්නේ කොහොමද? තියෙන ලයිට් බිලත් දරාගන්ඩ අමාරුයි මේ මිනිස්සුන්ට! මේ ගමේ ගෙවල් වලින් 90% කම මාසේ මුළු ආදායම රු. 20,000 ට අඩුයි! ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවන තත්වේ ගැන හිතාගන්ඩ  මීට වැඩිය උදාහරණයක් ඕනෙද?


අපි AC කාමර වල ඉඳගෙන ලෝකේ තියෙන ඔක්කොම logic  දාල 6 ගුණයක් වැඩියෙන් ගෙවල ඩීසල් බලාගාර හදමු …එතකොට අපිට පුළුවන් තව තව අර වගේ මිනිස්සුන්ගේ ජීවන තත්වේ පල්ලෙහට දාන්ඩ …. ඇති නැති පරතරේ තව වැඩි කරගන්ඩ පුළුවන්..…..ඔය වැඩේට සම්මාදම් වෙන විද්වත්තු ටිකට සල්ලි තියෙනවා ඔක්කොම විදුලි උපකරණ ටික තමන්ගේ ගෙවල්වලට අරන් තමන් සුවපහසු ජීවිතයක් ගත කරන්ඩ… මොකෝ ඔය මිනිස්සු ගෙදර ගිහින් washing machine  එක දාද්දි හරි අලුත්ම electric car  එක charge  කරද්දී රෑට එකට විදුලිය එන්නේ solar වලින් wind  වලින් නෙවෙයි….වැඩි හරියක්  Coal  වලිනුයි ඩීසල් gas turbine වලිනුයි… (ඔය රෑට  දාන gas turbine  වල unit එකට රු. 50 කට වැඩි ගානක් ගෙව්වට මොකෝ අපි AC එකත් දාගන්නවා මීට අමතරව).... අනික් එක ඔය පරිසර ලිපි ලියන ගොඩක් දෙනෙක් ට ප්‍රයෝගික දැනුමකුත් නැහැ කතා කරන විෂය (බලශක්තිය) සම්බන්ධයෙන් …කතා කරන්නේ පරිසරේ ගැනම විතරයි...එකේ ප්‍රයෝගික බවක් ගැන හිතන්නෙම නැහැ... කතා කරන්නේ මොනවද කියල දන්නෙත් නැහැ… න්‍යායාත්මක (theory ) කරුණු ටිකක් internet එකෙන් අරන් පත්තරේට ලියල මහජනතාව නොමග යවනවා… ඔය ඉතින් න්‍යායාත්මකව බැලුවොත් අහස් යානාවක් තමන්ගේ ඔලුවට කඩන් වැටිලත් මැරෙන්ඩ පුළුවන්… හැබැයි ඉතින් ඒක කොච්චර අඩු සම්භාවිතාවක්ද? මටත් පුළුවන් ඕනේ නම් එහෙම ප්ලේන් එකක් ඇඟට වැටිලා මැරෙන එකේ බිහිසුණුකම ගැන පිටු 3-4 ලියල දෙන්ඩ පත්තරේට… හැබැයි ඉතින් ඇත්තටම වෙන්ඩ   පුළුවන් දේ තමා වාහනේක හැප්පිලා මැරෙන එක…. ඔය දෙක මම කිව්වේ සංසන්දනය කරලා බලන්ඩ - ගල් අඟුරු වලින් වෙන පරිසර දූෂනෙයි ගෙවල් ඇතුලේ ලංකාවේ මිනිස්සු 70% කරගන්න පරිසර දූෂණේ එක්ක … අපි කවුරුත් පාරේ යද්දී උඩ බල බල යන්නේ නැහැ නේ ප්ලේන් එකක් ඇඟට වැටෙයි කියල… අනික් එක ලංකාවේ පරිසර දූෂණේ වැඩිම මහනුවරයි කොළඹයි…. එකට හේතුව මොකද්ද කියල කවුරුත් දන්නවා නේ!


අපේ මිනිස්සුත් (දේශපාලකයෝ ඇතුළුව) මේ පොතේ ගුරාලා  කියන ඒවා අහනවා කිසි හෙවිල්ලක් නැතුව..  මේ සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති මිනිස්සු (උදා - අනුර විජේපාල මහතා, ආචාර්ය තිලක් සියඹලාපිටිය වගේ දෙස් විදෙස් පිළිගත්ත විශාරදයින් ) කියන ඒවා කනකට ගන්නේ නැහැ…මොකද ඒ මිනිස්සු පෙන්නලා දෙන යථාර්තෙට කැමති නැහැ… කැමති අර පරිසරවේදියෝ කියල කියාගන්න අය පෙන්නන ෆැන්ටසි එකේ ඉන්ඩ … අනික් එක දැනුමක් ඇති මිනිස්සු කියන දේවල් ටික ඔලුවටත් ටිකක් බරපතළයි …..


දැන් ඉතින් අර කලින් කතාවම තමා (https://www.facebook.com/nadeerawije/posts/10153965662527636)  - ස්වභාවික වායු බලාගාරයක් කියල 300MW  LNG  plant  බෝඩ් එක දාල … එකට ඩීසල් දාල දුවනවා රු. 45.75 වගේ ගාණක් ගෙවල (කෙරවලපිටිය හදන  unit  එකකට Rs. 45.75 ගෙව්වා........... නොරොච්චෝලේ unit එකකට වියදම් වුනේ Rs 7.63.... (Source - PUCSL 2015 Generation Performance))….. ඩීසල් වලින් වෙන පරිසර දූෂණේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ….මොකද දාල තියෙන බෝඩ් එක full Sustainable බෝඩ් එකක් නේ! නැත්තන් ඉතින් කෙරවලපිටිය ගැනත් ඔය වගේ පිටු ගණන් ලියන්ඩ එපයි ඔය පරිසරවේදියෝ කියලා  කියාගන්න ඇත්තෝ! හැමෝම උදහරනෙට ගන්න ජර්මනිය ඇයි තාම 44% විදුලිය ගල් අඟුරු වලින් හදන්නේ කියල ඔය පරිසර දූෂණ රචනා ලියන අය තමුන්ගේ හදවතින්ම අහල බැලුව නම් තමා හොඳ……


මෙවැනි විනාශයක් අපිම එකතුවෙලා අපේ ආර්ථිකේට කරගෙන දේශපාලකයෝන්ට  බැන  බැන  ඉමු….. හැබැයි ඉතින් බහුතරේට පෙන්නේ නැහැ මේ විදියට මිනිස්සු ටිකයි දේශපාලුවෝ ටිකයි නොමග යැව්වේ කවුද කියල…… අපි ඉතින් ණය බරෙන් නිදහස් වෙන හැටි…. තුන්වෙනි ලෝකයේ දියුණුවෙන රටක් කියන එකෙන් සංවර්ධිත රටක් වෙන හැටි ගැන හිත හිත ඉමු!


කාට හරි මගේ පර්යේෂණයේ නිබන්ධනේ  ඕනේ නම් මේ දිගුවෙන් ගන්ඩ  පුළුවන් - http://www.diva-portal.org/smash/record.jsf?pid=diva2%3A748654&dswid=2778


සුපුරුදු පරිදි සංවාදයට විවුර්තයි!


ප. ලි. - ඉස්සෙල්ලම බ්ලොග් එකේ දැම්මේ මම කලින් ලියපු ලිපි වලින් වැඩියෙන්ම කථා බහට ලක් වෙච්ච ලිපිය.....

9 comments:

  1. කලාහිත තමා පාර කීවේ
    ම්ම්ම් පෙනෙන විදියට අපිට කෙලවෙලා තියෙන්නේ තම subject එක නොදැන
    වැඩ කරන එවුන් නිසා.ඒ අවුල අඩු කරන්න කරන උත්සාහයට ජයවේවා.
    //සර්වෝදය ලිප
    මොකක්ද මේ ලිප මේකද

    ReplyDelete
    Replies
    1. ඒක තමා …. මෙන්න තව සරල විස්තරයක්

      https://scontent.fdoh1-1.fna.fbcdn.net/v/t1.0-9/15622359_10211248039256988_8197278022615093795_n.jpg?oh=01582637b0bed7347064125a01cab384&oe=58F38BE5

      Delete
  2. ඔබ දර ලිප ගැන කියන දේ බොහොම හරි. අප්‍රිකානු රටවල නිවෙස් වල ලිප අසල වීඩියෝ කැමරා සවි කරලා කරපු අධ්‍යන මම කියවා තිබෙනවා.

    මේ ගැන විශාල වශයෙන් දැනුවත් කිරීමට මගේ පෙර ගුරුවරයෙකුද වන මහාචාර්ය රංජිත් මහානාම බොහොම වෙහෙසුනා. මමත් ගෘහාශ්‍රිත වාතයේ තත්වය (Indoor Air Quality) ගැන කුඩා පර්යේෂණ කර තිබෙනවා. අපේ දැනුම අනුව නම් ශ්‍රීලංකාවේ මිනිසුන් රෝහල් ගතවීමට දෙවැනි වැඩිම හේතුව ගෘහාශ්‍රිත වාතයේ ගැටළු. බොහෝවිට ඇගලුම් කම්හල්වල සේවකයින්ට කෑම විෂවීම ලෙස හදුනාගන්නේත් ගෘහාශ්‍රිත වාතයේ ගැටළු නිසා ඇතිවන අසාත්මික තාවයන්. හැමෝටම එකම රෝග ලක්ෂණ තිබෙන විට එකම කෑම කන නිසා වෛද්‍යවරු හිතන්නේ කෑම විෂවීමක් ලෙස.

    ගෘහාශ්‍රිත වාතයේ ගැටළු නම් ජනෙල් කවුළු විවෘත්ත කිරීම වගේ පොඩි දෙකින් සැහෙන අඩු කරගන්න පුළුවන්. මිනිස්සු දේව බැල්ම ගන්න කියල හැන්දෑවට ගේ ඇතුලේ විෂ සුවඳ දුම් පුරවල ජනෙල් දොරවල් වහගෙන විහින් ලෙඩ හදාගන්න එකවත් වලක්වන්න හරි අමාරුයි. කිව්වහම බැනුම් අහන්න වෙනවා.

    විදුලිය ගැන නම් අපි කලිනුත් කතා කළා නේ. රටේ වැසිකිලි හදාගන්න සල්ලි නැති වුනාට අපිට ඕනේ අධික වියදම් දරලා හරිත සූර්ය බලයෙන් විදුලිය ගන්න. චීනයේ තරමට පරිසර විනාශයට නොගොස් බලශක්තිය සහ පරිසරය අතර සමබරතාවයකුයි ඕනේ. පරිසරය පමණක් රකින්න නම් ඉතින් අහාර ඇදුම් නිවාස මුලික අවශ්‍යතා පමණක් සපුරාගෙන ඉන්න අතීත යුගයට යන්න වෙන්නේ.

    සමහර උගතුන් දියුණු රටවල දකින දේ ගන්න දැනුම එහෙම පිටින් ගෙනත් අපේ රටට බාන්නයි හිතන්නේ. ඒවා අපි නිවැරදි කරගත යුතු තැන්. එක උදාහරණයක් තමයි අපිට එතරම් බලපෑමක් නැති ඕසෝන් වියනේ සිදුරු ගැන පොඩි කාලේම ඉස්කෝලේ ඉගැන්නුවට, ගෙදර ඇතුලේ වාතයේ තත්වය ටිකක් හොදින් තබාගන්න කලයුතු සරල දේවල් අපි දන්නේ නෑ. මේවට වෙන්න ඇති ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල කියන්නේ.

    මමත් මැයි මාසයේදී Indoor Air Quality ගැන ලිපියක් ලිව්වා. වෙලාවක් තිබේ නම් මේක කියවලා බලන්න.

    ගෘහාශ්‍රිත වාතය ගැන මේ සරල දේවල් ටික මිනිස්සුන්ට ගෙනියන්න පුළුවන් නම් ඉතා වටිනවා. මේ මාතෘකාව ගැන කතා කිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා ඔබගේ ලිපිය ඉතාමත් අගෙයි…..

      කෙන්කියුෂා ඔබගේ අදහසත් රැගෙන මම තව පොස්ට් එකක් ලිව්වා…. එයට ඔබත් කැමති වනු ඇති සිතමි….
      http://nopenena.blogspot.qa/2016/12/blog-post_22.html

      ගෘහ අභ්‍යන්තර වාතය පිරිසිදු කරගතහැකි විද්‍යාත්මකව ඔප්පු කරන ලද විදියක් - ඉන්දියාවේ Kamal Meattle නැමැති ඉන්දියානු ජාතිකයා නව දිල්ලියේදී ප්‍රයෝගිකව ඔප්පු කරන ලද දෙයක්…. පහත ඇති දිගුවේ මෙම විඩියොවෙන් මෙම කතාව කියවෙනවා…..

      https://www.ted.com/talks/kamal_meattle_on_how_to_grow_your_own_fresh_air

      ඇත්තෙන්ම ඔහු මෙම සරල ක්‍රමයෙන් ඔහුගේ ජීවිතය බේරාගෙන ලෝකයට වැදගත් දැනුමක් ලබා දුන්න - ගෘහාශ්‍රිත වාතය මෙම පැළෑටි භාවිතයෙන් පිරිසිදු කරගතහැකි බව!

      Delete
  3. //මිනිස්සු දේව බැල්ම ගන්න කියල හැන්දෑවට ගේ ඇතුලේ විෂ සුවඳ දුම් පුරවල ජනෙල් දොරවල් වහගෙන විහින් ලෙඩ හදාගන්න එකවත් වලක්වන්න හරි අමාරුයි//

    එව්වා මොනා දාල හදනවද මන්දා .සිකරට් බොන මටවත් උහුලන්ඩ බැ ඒ දුම

    ReplyDelete
  4. බ්ලොගර් ෆලෝවරය දාන්න ඒක අපිට පහසුවක්

    ReplyDelete
    Replies
    1. මම follower වගයක් දැම්ම…. දැන් හරිද?

      Delete
  5. නදීර කියන්නේ 'හොඳට කන බොන' ජිවිතේ විඳවන්නේ නැතුව විඳින එළ කොල්ලෙක්.. //
    ඔහම කිව්වට විස්වාස කරන්න බැහැ සෙට් වෙලා අඩියක් ගහලම කතා කරමු

    ReplyDelete
  6. මම කතාකරන්න හදන්නේ වෙනත් පැත්තක්. මගේ කලින් ඔෆිස් එක කිට්ටුව තිබ්බ ගෑස් ලිප් රෙපෙයාර් කරන තැනක්. එතනම විකුනන්න තිබුණා ලිපක්. ඒක ටිකක් වෙනස් නිෂ්පාදනයක්. අර මැටි වලින් හදන ලිපේ රසේනෙන් බටයක් දාලා තවත් ලිපක් සවි කරපු ලිප(මේකට කියන නම දන්නේ නෑ)ට පොඩි ඉලෙක්ට්‍රික් වැඩක් කරලා. අර කම්පියුටර් වල පවර් සප්ලයි එකට සවි කරන එක්ස්සෝස් ෆෑන් එකක් අර දෙවෙනි ලිපේ සවි කරළා. එකෙන් වැඩ දෙකක් වෙනවා. එකක් පොල්කටු අඟුරු දාන පැත්තට ඔක්සිජන් සප්ලයි වෙනවා. අනික ඒ පැත්තේ තියෙන රස්නේ අනික් පැත්තට ඇදෙනවා. ඒ මගින් කාර්යක්‍ෂමතාව වැඩි වෙනවා. මම එකක් ගන්න හිටියත් වැඩේ මිස් වුණා.

    අපේ මිනිස්සු ඔලුවෙන් හදා ගත්තු දේවල් වෙනස් කරන්න කැමති නෑ.

    ReplyDelete